― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලෝක කුසලානයේ ශ්‍රී ලංකා අන්තිම සටන කොදෙව්වන්ට අද හිතෙන තරම් පහසු නෑ

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා අන්තිම සටන කොදෙව්වන්ට අද හිතෙන තරම් පහසු නෑ

විස්සයි20 තරාදියේ දෙපිලේම දක්ෂතා සමබරයි
වෙනසක්: ළහිරු වෙනුවට බිනුර

විස්සයි20 ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ශ්‍රී ලංකා පිල අබුඩාබි ෂෙයික් සහීඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට අද තරගයට පිවිසෙයි. ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම් දෙක ඉතිහාසයේ අන්තර්ජාතික විස්සයි20 තරග 14කට ක්‍රීඩා කොට තරග 7 බැගින් ජය ගෙන සම තත්ත්වයක පසු වන අතර, ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණයකින් අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිටින තරුණ කණ්ඩායම වූ ශ්‍රී ලංකා පිල එකම වෙනසක් සහිතව අබුඩාබි පිටියේදී කොදෙව්වන් මෙල්ල කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි. පසුගිය තරග දෙකේදී ඕවර 7.5ක් යවා කඩුලු නැතිව ලකුණු 79ක් දුන් මද වේග පන්දු යවන ළහිරු කුමාර වෙනුවට 26 හැවිරිදි බිනුර ප්‍රනාන්දු අද තරගයට කැඳවීමට තීරණය කොට ඇත. කොළඹ ඩීඑස් සේනානායක විදුහලෙන් ක්‍රීඩාවට අවතීර්ණ වී එස්එස්සී පිලට ක්‍රිඩා කරන බිනුර ප්‍රනාන්දු මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග තරග 5කට ක්‍රීඩා කොට කඩුලු 6ක් දවා ගෙන සිටී. ඔහු බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

පිට පිට පරාජයන් දෙකකින් පසුව, බංග්ලාදේශයට එරෙහිව ලකුණු තුනක තියුණු ජයග්‍රහණයක් ලැබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය ජයග්‍රාහී ගමන නැවත පණ ගැන්වීමට සමත්ව සිටී. එහෙත් අවසන් පූර්ව වටයට පැමිණීමේ අවස්ථාව ඉතා සිහින් වී ඇති කොදෙව් පිලට තවමත් තරගාවලියෙන් ඉවත් වන තත්ත්වයක් උදා වී නැත.

කොදෙව් පිල අවසන් පූර්ව වටයේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව සමඟ අවසන් තරග දෙක ජය ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩි දියුණු කර ගැනීම ද අනිවාර්ය වී තිබේ. එබැවින් මේ තරගයේදී වැඩි පරතරයකින් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාව නිසාම වේගවත් ප්‍රහාරවලට යෑමේදී කොදෙව් පිලට අවදානමක් ද මතුව ඇත.

වසර 2014දී විස්සයි20 ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ සුපිරි 12 වටයේ ආරම්භක ජයග්‍රහණයෙන් පසු පිට පිට තෙවැනි පරාජයෙන් ඇද වැටිණි. කොදෙව් පිලට එරෙහි අද තරගය ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකාවට උපරිම ලකුණු 4කින් අවසන් කළ හැකි වුවත්, එය අවසන් පූර්ව වටයට යෑමට ප්‍රමාණවත් නොවේ.

කොදෙව් පිලේ සිටින අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඩෙවෝන් බ්‍රාවෝ, ජේසන් හෝල්ඩර් සහ ඇන්ඩ්‍රේ රසල් යන තුන් කට්ටුවේ දක්‍ෂ පන්දු යැවීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය තහවුරු කළ ද මෙවර තරගාවලියේ ඔවුන්ගේ පිතිකරණය තවමත් ස්ථාවර මට්ටමක නැත. එංගලන්තය සමඟ තරගයේදී කොදෙව්වන් ලකුණු 55ක් වැනි අඩු ලකුණු ගණනකට දැවී ගිය අතර, දකුණු අප්‍රිකාවට හා බංග්ලාදේශයට එරෙහිව ඕවර 20කදී ලකුණු 150 සීමාව පසු කිරීමට නොහැකි විය. කඩුලු රකින ක්‍රීඩක නිකලස් පූරාන් පන්දු 22කින් ලකුණු 40ක් රැස් කර නොගත්තේ නම් බංග්ලාදේශය හමුවේත් ඔවුන් පරාජය වීමට ඉඩ තිබිණි.

බටහිර ඉන්දීය කොදෙවවන් නිමා වූ තරග තුනේදීම පන්දු රැකීම අංශයෙන් සතුටු විය හැකි මට්ටමක නොතිබූ අතර, බංග්ලාදේශයට එරෙහි තරගයේදී දුවද්දී දැවී යෑමේ අවස්ථා කිහිපයක් මඟහැරීම සහ උඩ පන්දු අත්හැරීම සම්බන්ධයෙන් ද වරදකරුවන් බවට චෝදනා එල්ල වී තිබේ.

මෙතෙක් තරගවලදී ප්‍රතිවාදී පිතිකරුවන් අතරමං කළ ඊයේ විස්සයි20 පිටියේ අංක එකේ පන්දු යවන්නා බවට පත් වු වනිඳු හසරංග සහ කැරම් බෝල් පන්දු යවන මහේෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා දඟ පන්දු යුගලයට මුහුණ දීම ක්‍රිස් ගේල් ඇතුළු කොදෙව් පිතිකරුවන්ට පහසු නොවනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් දස්කම් දක්වමින් සිටින චාමික කරුණාරත්න හා දුෂ්මන්ත චමීර යන වේග පන්දු යුගලය බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නිවැරදි එල්ලයට පන්දු යැවීමට සමත් වීම කණ්ඩායමට ඉතාම වැදගත් වේ. අද තරගයේ ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගත හොත් මුලින් පන්දු රැකීම තෝරා ගැනීමට සූදානමින් සිටින බැවින් පන්දු යවන්නන් දක්වන දක්ෂතාමත ලකුණු හඹා යෑමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයකින් තොර ඉලක්කයක් හිමි කර ගත හැකිය.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල: දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

ප්‍රින්ස් ගුණසේකර අබුඩාබි සිට