හිටපු අැමැති වජිර අබේවර්ධන
රටත් ජනතාවත් මහ විනාශයකට ගෙනයමින් සිටින වත්මන් ආණ්ඩුව 2023 අග භාගය වන විට නියත වශයෙන්ම පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
කොරෝනා වසංගතයට මුහුණදුන් ලෝකයේ අනෙකුත් රටවල් තම රටවල විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තිබුණ ද ලංකාවේ විදේශ සංචිත කඩා වැටීමකට ලක් වුණේ ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා බව ඒ මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ පසුගියදා රත්නපුර බෝධිරාජා රාමය විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන වැඩසටහන සම්බන්ධව රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවෙන් අනතුරුව මේ උද්ඝෝෂණය පැවැත්විණි.
ජනතාව පීඩාවට පත් කරමින් ආණ්ඩුව ගෙන යන පාලනයට එරෙහිව පැවැති මේ උද්ඝෝෂණය අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
“කවුරු ආණ්ඩු බලය ගත්තත් රට ඉදිරියට ගෙනියන්න බැරි බව ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කරනවා. එජාපයට රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතිහාසයේ රට අකර්මණ්‍ය වූ සෑම අවස්ථාවකම රටේ ජනතාව ජීවත් කරවීමේ අභියෝගය එක්සත් ජතික පක්ෂය භාරගෙන ක්‍රියා කර තිබෙනවා. රට කඩාවැටුණු සෑම අවස්ථාවකම රට ගොඩගෙන තිබෙනවා.
“මේ වන විට දේශපාලන පක්ෂ බොහෝමයක් සමඟ අප කතා කරමින් සිටිනවා. නිසි වේලාවට අදාළ තීන්දු ක්‍රියාත්මක කරන්න අපි සූදානමින් සිටිනවා.
“රටක ආර්ථිකය දුර්වල වුණාම ගෑස් පමණක් නොව සෑම භාණ්ඩයකම තත්ත්වය පහත වැටෙනවා. එය මෝටර්සයිකලයක් වෙන්න පුළුවන්. නමුත් ඒ සයිකලය නඩත්තු කිරීමට මුදල් නැති වුණාම කෑලි අමුණගෙන දුවනවා. එවිට අනතුරු වැඩියි. ගෑසුත් ඒ වගේ තමයි. ඉතිහාසයේ කිසිදාක ගෑස් සම්බන්ධව මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණේ නෑ.
“මේ වන විට රටේ ඩොලර් සංචිතය කඩා වැටී තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා. මේ අනුව රටේ සෑම ක්ෂේත්රයක්ම අද කඩා වැටී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. ඒ අතර ගෑස් එක ප්‍රශ්නයක් පමණයි.”
ශිරෝමි අබයසිංහ