― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෂාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නොම්මර එකට ගන්න වැඩ අරඹයි

හෂාන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නොම්මර එකට ගන්න වැඩ අරඹයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අරමුණින් ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් ආරම්භ කර තිබේ. ක්‍රීඩිකාවන් 27 දෙනකුගෙන් සමන්විත ජාතික කාන්තා ක්‍රිකට් සංචිතය නව පුහුණුකරු හිටපු ටෙස්ට් පිතිකරු හෂාන් තිලකරත්න මහතා යටතේ මේ වන විට දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරමින් පුහුණු කටයුතු සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූලිකත්වයෙන් සියලු ක්‍රීඩිකාවන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය කිරීමෙන් පසු ජෛව බුබුල ආරක්ෂිත වළල්ලක රඳවා මේ පුහුණුවීම් ආරම්භ කළ බව ‘දිනමිණ‘ කළ විමසුමකදී කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

‘දෙසැම්බර් මාසයේ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය තියෙනවා. ලබන ජනවාරියේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය තියෙනවා. මේ තරගාවලි දෙකම ඉලක්ක කරමින් තමයි අපි පුහුණුවිම් පටන් ගත්තේ.’ හෂාන් පැවැසීය.

‘මේ ඉලක්ක දෙකට අමතරව මගේ ලොකුම බලාපොරොත්තුව තමයි අපේ කාන්තා කණ්ඩායම ආසියාවේ හොඳම කණ්ඩායම බවට පත් කිරීම.’ ඔහු සඳහන් කළේය.

ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් 27 දෙනාට අමතරව නැගී එන කණ්ඩායම් සංචිතයේ ක්‍රීඩිකාවන් 13 දෙනකු සිටින අතර, ඉදිරියේදී බොහෝ විට නැගී එන සංචිතයෙන් ද ජාතික කණ්ඩායමට දස්කම් සපිරි ක්‍රීඩිකාවන් එක්විය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

ආසියාවේ බොහෝ කාන්තා කණ්ඩායම් මේ වන විට ශ්‍රී ලංකා පිලට වඩා ඉදිරියෙන් පසුවන බවත්, ඊට බලපෑ හේතු සාධක හඳුනාගෙන කඩිනමින් ඊට විසඳුම් සලසමින් සිටින බවත් හෂාන් සඳහන් කළේය.

‘අපි වරද හඳුනාගත්තා. අපිට කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් කිහිපයයි තියෙන්නේ. ඒ වගේම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩා සමාජ කිහිපයයි තියෙන්නේ. අපිට ග්‍රාමීය මට්ටමෙන් මේ ක්‍රීඩාව දියුණු කිරීමේ අවශ්‍යතාව පෙනෙනවා. එයාලා දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රීඩා කරලා යම්කිසි ක්‍රමවේදයක් අනුවයි ජාතික තලයට එන්න ඕනා. නිසි ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත්. කාන්තා ක්‍රිකට් ගමට ගෙන යෑමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රිකට් ආයතනය හරහා ක්‍රියාත්මක වෙනවා. මොකද දැනට අපේ ජාතික කණ්ඩායමේ වැඩි ක්‍රීඩිකාවන් පිරිසත් පිට පළාත්වලින් පැමිණි අය. අපි දැන් පුහුණුවීම් කරන සංචිතයෙත් ඒ වගේ පිටපළාත්වල තරුණ, දක්ෂ අය වැඩිපුර ඉන්නවා.’ ඔහු කියා සිටියේය.

‘ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් දියුණු කරන්න නම් අපිටම ආවේනික ක්‍රමයක් සකස් කළ යුතුයි. ආසියාවේ දක්ෂතම කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායමත් ඒ වගේ ක්‍රමවේදයක් අනුවයි කටයුතු කරන්නේ. ඒවා අධ්‍යයනය කරලා අපේම අනන්‍යතාවකින් යුතු කණ්ඩායමක් ගොඩ නැගීම ඉතා වැදගත්. ක්‍රීඩිකාවන්ට එයාලගේ දස්කම් ගැන විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ වගේම එයාලාට වගකීම් පවරා දෙන්න ඕනා. එහෙම වුණොත් අපිට සුබවාදී ගමනක් යන්න පුළුවන් වෙයි කියලයි මම විශ්වාස කරන්නේ. අපි දැනටමත් ඊට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ වැඩපිළිවෙළට ක්‍රිකට් ආයතනයෙන් ඉහළ සහයෝගයක් ලැබෙනවා.’ හෂාන් තිලකරත්න මහතා කීවේය.