ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අරමුදලින් ඉදි කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාර දුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මිලියන ගණනින් මුදල් වියදම් කරමින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉවත් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බත්තරමුලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (09) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
“මේ කොවිඩ් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන පක්ෂයේ ව්‍යාපෘතියක්. මෙරට කිසිම දේශපාලන පක්ෂයක් එම පක්ෂයේ අරමුදල් යොදා මෙවැනි සත්කාරයක් රටට සහ ජනතාවට පරිත්‍යාග කර නෑ. පසුගිය මැයි මාසයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 20ක් එම පක්ෂයේ වියදමින් නිර්මාණය කර සියලු උපකරණ, ඇඳන්, කබඩ්, අල්මාරි, රෝද පුටු සහ මදුරු දැල් ආදී සියලු දේ සමඟ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළා. එයින් මධ්‍යස්ථාන පහක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වීමෙන් පසුව ඒවා අවශ්‍ය ස්ථානවල ස්ථාපනය කිරීමට ඉවත් කර ගත්තා. එම කොරෝනා එකක ස්ථාපිත කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් 3300ක් පමණ ඉන්නවා. ඒ වගේම අපේ පක්ෂයේ සාමාජිකයන් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මන්ත්‍රීවරුන් මාසිකව ගෙවන දීමනාව, සාමාජිකයන් රුපියල් 20 බැගින් වාර්ෂික ගන්නා සාමාජික මුදල් සහ අපේ පක්ෂයේ පසුගිය වසර හතරේ එකතු වූ අරමුදල් යොදවලා අපේ පක්ෂයි මේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේ.
පිඹුර ප්‍රදේශයේ ඇඳන් 50ක, පානදුර, මුල්ලේරියාවේ ඇඳන් 250ක ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, මාතර කොටපොළ සහ අම්බලන්ගොඩ ඇඳන් 50 බැගින් වන මධ්‍යස්ථාන දෙකක් ඇතුළු මධ්‍යස්ථාන පහක් භාවිතයට නොගෙන තිබු නිසා වෙනත් අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කිරීමට ගැලෙව්වා. මේ වන විට කඩුවෙල, නවගමුව, කහවත්ත, මිනුවන්ගොඩ, මීරිගම, කොස්ගම, මාතලේ, වතුපිටිවල සහ රිකිල්ලගස්කඩ වගේ ස්ථානවල ඉතාම සාර්ථකව අප ඉදි කළ මධ්‍යස්ථාන පාවිච්චි කරනවා. ගලවපු මධ්‍යස්ථානයක් මේ වන විට දඹුල්ලේ ස්ථාපිත කරමින් තිබෙනවා. මේ ආකාරයට අවශ්‍ය වන වෙනත් තැන්වලට ඒවා දෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්


