බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත් ඒ සඳහා සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇත.
මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමඟ ඊයේ (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට මෙරට ඉලක්කගත ජනගහනයෙන් 28% ට බූස්ටර් එන්නත ලබාදී තිබේ. මේ මස අවසන් වන විට ඉතා ඉහළ ප්‍රතිශතයකට එම එන්නත ලබාදීම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් එළඹෙන 29 දිනට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර වසරක් පිරෙන බවත් ගත වූ එම කාලය තුළ එන්නත් මිලියන 45ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනවිත් තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය.
කේතය (QR code) හා යෙදුම (App) සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවද එම කාඩ්පත සඳහා පූර්ණ එන්නත්කරණයට බූස්ටර් එන්නතද ඇතුළත් වන බව අමාත්‍යවරයා මෙහිදී කීය. එනිසා බූස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත් එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම පැවසීය.