ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවාද යන්න සැකයක් මතුවී තිබෙන නිසා ජනාධිපතිවරයා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කරයි.
ඊයේ (06) කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
”අපි මේ අලුත් අවුරුද්ද ධනාත්මකව හිතලා ඉදිරියට යන්න ඕන. කොවිඩ් වසංගතය නිසා ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. විදේශ සංචිත අඩු වෙලා තිබෙනවා. එම නිසා භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා. ගෑස්වල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ගෑස් පිපිරීම් වාර්තා වෙනවා. මේ ගෑස් පිපිරීම් පිටුපස කුමන්ත්‍රණයක් තිබෙනවා ද යන්න සැකයක් මතු වී තිබෙනවා. කොළඹ හතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. උතුරු පළාතේ ගෑස් පිපිරෙන්නේ නැහැ. නුවර, කුරුණෑගල ගෑස් පිරෙන්නේ නැහැ. එනිසා මේ ගෑස් පිපිරීම් ගැන අපි විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි. ජනාධිපතිතුමා මේ වන විට මේ ගෑස් පිපිරීම් සම්බන්ධව ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරනවා. ඒ සම්බන්ධව විමර්ශන කටයුතු මේ වෙද්දි ආරම්භ කරලා තිබෙනවා. රටේ ජනතාව අතර මේ වන විට කුතුහලයක් ඇති වී තිබෙනවා මේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන්. ජනතාව මේ වන විට ගෑස් පරිභෝජනය සම්බන්ධයෙන් බිය වී තිබෙනවා. මේ ප්‍රශ්නයට ඉදිරි සති කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බවට මම විශ්වාස කරනවා.
මේ කොවිඩ් වසංගතයෙන් වැඩියෙන් ම බැට කෑවේ පාසල් දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. ඔවුන්ට තමන්ගේ දක්ෂතාවන් වර්ධනය කරගැනීමට තිබුණු අවස්ථා මග හැරුණා. ඔවුන් පීඩනයට පත්වුණා. ඉදිරියේදී මේ කොවිඩ් වසංගතයෙන් අපිට ගොඩ ඒමට පුළුවන් වෙතැයි මා විශ්වාස කරනවා.
පසුගිය කාලේ ගුරු මහත්ම මහත්මීන් ආණ්ඩුවට බල කළා ඔවුන්ගේ ගැටලුව විසඳන්න කියලා. අපි මේ වන විට ගුරු මහත්ම මහත්මීන්ගේ ගැටලුව විසඳා අවසන් කර තිබෙනවා.”