මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට තරග බලධාරීහු තීරණය කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කරන මේ ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන පල්ලේකැලේ ක්‍රීඩාංගණයට ඊයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මේ තීරණය ගෙන තිබේ.
තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් අතර, පළමු තරගය සඳහා පස්වරු 1.30ට පමණ ක්‍රීඩාංගණය වසා තිබූ වැසි ආවරණ ඉවත් කිරීමට ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලය පියවර ගත්ත ද තරගය ආරම්භයට පෙර යළිත් පිටියට වර්ෂාව ඇද හැළීම හේතුවෙන් යළි වැසි ආවරණ දැමීමට කටයුතු කෙරිණි.
ඒ අනුව පළමු තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරග දෙකම දිනයකින් කල් දැමීමට තීරණය විය.
තරගාවලිය ආරම්භ කරමින් දසුන් ශානක මෙහෙයවන ග්‍රේස් කණ්ඩායම සහ අශාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම පස්වරු 2.30ට පළමු තරගයට එක් වීමට නියමිතව සිටි අතර, රාත්‍රී 7.00ට දෙවැනි තරගය ධනංජය ද සිල්වාගේ බ්ලූස් සහ දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් අතර පැවැත්වීමට නියමිතව තිබිණි. කල් දැමුණු එම තරග දෙක අද පැවැත්වෙනු ඇත.
එළැඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සහ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස මේ තරගාවලිය සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.
නවක ක්‍රීඩකයන්ට ද දක්ෂතා දැක්වීමට මේ තරගාවලිය හොඳ අවස්ථාවක් වන අතර, ඔවුන්ට මෙන්ම අවසන් වරට පැවැති අන්තර්ජාතික තරගවලදී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වූ ක්‍රීඩකයන්ට ද මේ තරගාවලිය දස්කම් දැක්වීමට වැදගත් වනු ඇත.
මේ තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් කණ්ඩායම් නායකයන් ද කියා සිටියේ අන්තර්ජාතික මෙන්ම දේශීය පිටියේ තරග වදිනු ලබන සෑම තරාතිරමකම ක්‍රීඩකයන්ට සිය දක්ෂතා පෙන්නුම් කිරීමට මේ තරගාවලිය මඟින් ඉතා හොඳ අවස්ථාවක් උදා වන බවයි.
මේ තරගාවලිය පස්වරු සහ රාත්‍රී ලෙස පැවැත්වෙන බැවින් සෑම කණ්ඩායමකටම විදුලි ආලෝකය යටතේ තරග කිරීමට අවස්ථාව හිමි වෙයි. එමඟින් මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන දේශීය ක්‍රීඩකයන්ටද රාත්‍රී තරග අත්දැකීම් ගැනීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි.