හැකි පළමු අවස්ථාවේදීම ජනතාවට පීඩාකාරී බදු නැවත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය සුරාබදු ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නව බදු පැනවීම සිදුකර ඇත්තේ සියයට 90ක් රජයේ උපකාර අවශ්‍ය පිරිස් ජීවත් කරවීමට බවයි.
“බදු කියන්නේ දිගින් දිගටම සදාකල් තියෙන ඒවා නෙමේ. අපි සූදානම් පළමු මොහොතේම මේවා අඩු කරලා බදු ගෙවන්නාට සහනයක් ලබා දෙන්න. හැබැයි එතෙක් මේ සමාජය අපි ජීවත් කරවන්න ඕනේ. සමාජ ආරක්ෂණ බද්ධ බොහෝ අය දෝෂදර්ශනයට ලක්කළා. මමත් විශ්වාස කරනවා එක එච්චර හොඳ බද්දක් නෙමේ. ලබන වසර ආරම්භ වෙනකොටම සමාජ ආරක්ෂණ බද්දෙන් සමහර බලපෑම් තිබෙන කොටස අයින් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාසේ දෙවැනිදා මහ භාණ්ඩාගාරයේ පළමු සාකච්ඡාව දාගෙන තියෙන්නේ බදු ගැන කතා කරන්න. මුළු සමාජයම පිළිබඳ බලලා හැම කෙනෙක්ම ජීවත් කරවමින් අවම අපහසුවෙන් මේ අගාධයෙන් ගොඩ එන්න මඟ පෙන්වීම තමයි මුදල් අමාත්‍යංශයෙ වගකීම.“


