ශ්‍රී ලංකාව බිහි කළ කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම මෙරට සිටි ප්‍රබලම විදේශ අමාත්‍යවරයා බව නොපැකිළිව කිව හැකි ලක්ෂමන් කදිර්ගාමර් මහතා වියරු පැසිස්ට්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර වසර 16කි.
විශිෂ්ට දේශපාලනඥයකු වූ ඔහු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පෘථුල දැනුමක් තිබූ බුද්ධිමතෙක් ද විය. එකී ක්ෂේත්‍ර අතර, අන්තර්ජාතික දේශපාලනය, අන්තර්ජාතික නීතිය, බුද්ධිමය දේපළ නීතිය, ආර්ථිකය ආදී තවත් බොහොමයකි. විවිධ ආගම් හා දර්ශන, සංස්කෘතිය ආදිය පිළිබඳ ඔහු තුළ පැවැති දැක්ම පුළුල්ය.
ඕනෑම අන්තර්ජාතික වේදිකාවක අදීනව නැඟී සිටිය හැකි මනා පෞරුෂයක් තිබූ ඔහු චතුර කථිකයෙකි. ඉංග්‍රීසි භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවීමේ හැකියාව ඔහු සතු විය. බටහිර මාධ්‍යවේදීන් හෝ නායකයන් තුළ තිබූ පුහු මාන්නය කදිර්ගාමර් හමුවේ කිසිදු වටිනාකමක් ඇති දෙයක් නොවීය. ඕක්ස්ෆර්ඩ් සරසවිය බිහි කළ බුද්ධිමතකු වුව ද ඔහු, සෑම විටම තමන් ගැන හඳුන්වා දුන්නේ ‘මම සැබෑ ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක්’ (I’ am a Sri Lankan product) යනුවෙනි. එසේම, ඔහු, හුදු වාර්ගිකත්වයේ නොව ජාතිකත්වයේ ද සීමාව ඉක්මවූ විශ්වීය මිනිසකු විය. ලොව කවර තරාතිරමක වේදනාව වුව මනුෂ්‍යත්වය පෙරදැරිව නැඟී සිටීමට ඔහුට හැකි වූයේ ද එබැවිනි.
දේශපාලඥයකු ලෙස ඔහුගේ සක්‍රීය දේශපාලන ජීවිතය දශකයක් වැනි කෙටි කාලයකි. එකී කෙටි වකවානුව තුළ දෙවරක්ම මෙරට විදේශ අමාත්‍ය ධූරය දරමින් ඔහු තම භූමිකාව බිඳකුදු නොපිරිහෙළා ඉටු කළ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඔහුට බිය වූයේ ද මේ නිසාමය. ඔහුගේ ජීවිතය උණ්ඩයෙන් නිහඬ කෙරුණේ ඒ බියසුළු බව හේතුවෙනි.
මෙරට දෙමළ ප්‍රභූ පැළැන්තියෙන් බිහි වූ මේ විශිෂ්ට ශ්‍රී ලාංකිකයාට මේ රට ගැන හැඟීමක් මෙන්ම ගෞරවයක් ද තිබිණි. වාර්ගික හැඟීම්වලින් කිළිටි නොවූ පැහැදිලි දැක්මක් ද තිබිණි. ඔහු විදේශ අමාත්‍ය ධූරය බාර ගන්නා විට එල්ටීටීඊය යනු කිසි දිනෙක හෝ කිසි විටෙකත් පරාජය කළ නොහැකි සන්නද්ධ විමුක්ති සංවිධානයන්ය යන පිළිගැනීම ලෝකයට තිබිණි. මෙරට විදේශ දූත මණ්ඩල සේවාව හැසිරෙමින් පැවතියේ ද මේ ලෝක දැක්මට අනුගතව බව පැහැදිලිය. එල්ටීටීඊයට පොරවා තිබූ ව්‍යාජ සළිපිළි නිරාවරණ කරමින් එය ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් මිස විමුක්තිකාමී සංවිධානයක් නොවන බව ලෝකයට ඒත්තු ගැන්වීමට ඔහු දැරූ ප්‍රයත්නය අමතක කළ නොහැකිය. එල්ටීටීඊය යුරෝපා සංගමය විසින් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගන්නේ එකී අප්‍රතිහත අරගලය ද හේතුවෙනි. ලොව රටවල් ගණනාවක් එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත්තේය. ත්‍රස්තවාදය පිළිබඳ ලෝක බලවතුන්ට තිබූ දෙබිඩි කියැවීම ඔහු සියුම්ව විවේචනය කළේ ලොව කොතැනක වුව ද ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයම බව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් කියා සිටිමිනි. කවරාකාර හෝ ත්‍රස්තවාදයට ඔහු සෘජුවම එරෙහි විය. ඝාතනය වීමට මසකට පමණ ඉහතදී ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවසන් පනත ද ත්‍රස්තවාදයට එරෙහිව රැගෙන ආවකි. ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මුදල් ආධාර රැස් කිරීම වැළැක්වීම එහි අරමුණ විය.
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය හඳුන්වනු ලැබූ ගැටලුව පිළිබඳ නිවැරැදි දැක්මක් ඔහුට තිබිණි. ඒ දෙස එවැනි දෘෂ්ටියකින් බලන්නට වෑයම් කළ දෙමළ සමාජය බිය කළ බුද්ධිමතුන්, දේශපාලනඥයන්, එල්ටීටීඊයේ උණ්ඩයට, බෝම්බයට ගොදුරු විය. දෙමළ ජනයාටම සුවිශේෂී වූ ගැටලුවක් මෙරට නොමැති බව මෙන්ම දෙමළ ජනයා සම්බන්ධයෙන් අදාළ වන්නා වූ යම් අසාධාරණයන්ට විසැඳුම් සෙවීම බෙදුම්වාදයෙන් කළ නොහැකිය යන පැහැදිලි ස්ථාවරයේ කදිර්ගාමර් මහතා මෙන්ම එවැනි ඇතැම් දෙමළ බුද්ධිමතුන් හා දේශපාලඥයන් පිහිටා සිටියහ. 1983 වැනි අවස්ථාවලදී දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම්වලටත් වඩා අසාධාරනයක් ත්‍රස්තවාදය නිසා ඔවුන්ට සිදු වූ බව ඔහු පිළිගත්තේය. කෲර ලෙස මිනිසුන් මරා දැමීමෙන් කවර ජන කොටසකට හෝ සාධාරණය ඉටු කළ නොහැකි බව ද ඒ වෙනුවට කාගේත් අභිමානය රැකෙන අන්දමේ සමාජ හා දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීම විය යුතු බව ද ඔහු පිළිගත් දර්ශනය විය.
තිස් අවුරුදු යුද්ධය නිමා කරමින් ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජය කළ ශ්‍රී ලංකාව එහිදී ලක්ෂ්මන් කදිර්ගාමර් නම් විශිෂ්ට නම් විශිෂ්ට ලාංකේය පුත්‍රයාගේ භූමිකාව ද සැමදා සිහිපත් කරනු ඇත. එසේම, වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පිළිගෙන ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔහු කළ මෙහෙවර සදා අගය කරනු ඇත.
2005 අගෝස්තු 12 වැනිදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා ඝාතනය වීමත් සමඟ සිය කවරයේ කතාව ඔහු වෙනුවෙන් වෙන් කරමින්, සුප්‍රකට FRONTLINE සඟරාව කියා සිටියේ ශ්‍රී ලංකාවට කීර්තිය බැබළ වූ මැණික අහිමි වූ බවය. ලක්ෂ්මන් කදිර්ගාමර් නම් පිරිපුන් විරල මිනිසා ඉතිරි කොට ගිය උරුමය වර්තමාන හා අනාගත දේශපාලඥයන්ගේ අවධානයට හා හැදෑරීමට ලක්විය යුතුව ඇත. ඔහුගේ නික්මයාම ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හා දෙස් විදෙස් දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා කළ සඳහනකින් මේ සටහන නිමා කිරීමට අපි කැමැත්තෙමු. “ලක්ෂ්මන් කදිර්ගාමර් ඇමැතිවරයා කාට හෝ සමාන කළ හැකි නම් මා දන්නා අන්දමට ඒ, අමෙරිකාවේ හෙන්රි කිසින්ගර්, ස්වීඩනයේ ඌලොෆ් පල්මේ, සෝවියට් දේශයේ හිටපු විදේශ ඇමැති අන්ද්‍රේ ග්‍රොමිකොව් වැනි අයකුටයි.”
ධම්මික සෙනෙවිරත්න


