31 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා කණ්ඩායම 20 දා යයි

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකා කණ්ඩායම 20 දා යයි

ජපානයේ ටෝකියෝ නුවරදී මේ මස 24 වැනිදා ආරම්භ වී ලබන මස 5 වැනිදා අවසන් වන 16 වැනි පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම මේ මස 20 වැනිදා ටෝකියෝ බලා පිටත් වෙයි.

ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක් ඇතුළත් වන අතර, කණ්ඩායමේ නායකත්වය පසුගිය රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගත් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත්ට පවරා ඇත. ඔහු විසින් පැරාලිම්පික් සමාරම්භක උලෙළේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමට නියමිතය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ක්‍රීඩා 4ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වන අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්වට ක්‍රීඩකයන් 3ක්, වෙඩි තැබීම, පිරිමි මීටර් 400 හා කාන්තා දුර පැනීම යන ඉසව් සඳහා එක් අයකු බැගින් සහභාගී වේ.

පසුගිය 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී මීටර් 58.23ක දුරක් හෙල්ල විසි කොට ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත මෙවර ද ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහු මේ දිනවල හෙල්ල මීටර් 66කට ආසන්න ප්‍රමාණයක් විසි කරමින් සිටින හෙයින් ශ්‍රී ලංකාවේ පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුවක් බවට පත් වී ඇත. ඔහු මෙවරත් F 46 (පේශි දුර්වල වීම හෝ උදාසීන චලනය) කාණ්ඩය යටතේ පැරාලිම්පික් තරග බිමට පිවිසේ. දිනේෂ් ප්‍රියන්ත 2017 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කම දිනාගත් අතර, ආසියානු පැරා ක්‍රීඩා උලෙළේදී නව තරග වාර්තාවක් සමඟ හෙල්ල විසි කිරීමේ රිදී පදක්කම් දිනා ගත්තේය.

දිනේෂ් ප්‍රියන්තට අමතරව හෙල්ල විසි කිරීමෙන් සමිත දුලාන් හා සම්පත් හෙට්ටිආරච්චි යන ක්‍රීඩකයන් දෙදෙනා ද පැරාලිම්පික් පිටියට පිවිසේ.

එමෙන්ම පාලිත බණ්ඩාර (යගුලිය විසි කිරීම F 42), සමන් මධුරංග සුබසිංහ (T 47 මීටර් 400), කුමුදු ප්‍රියංකා (T 45/46 මීටර් 100 හා දුර පැනීම), සම්පත් බණ්ඩාර (දුනු විදීම), මහේෂ් ජයකොඩි (ඔරු පැදීම) හා මහේෂ් ජයකොඩි (රෝද පුටු ටෙනිස්) මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරති. පුහුණුකරුවන් ලෙස ප්‍රදීප් නිශාන්ත, හරිජන රත්නායක, මේජර් ජෙනරාල් රජීව වික්‍රමසිංහ, ලසන්ත වැලිකල හා ජගත් වැලිකල යන මහත්වරු ටෝකියෝ බලා යති.

කොරෝනා වසංගතය හමුවේ නියමිත පුහුණු සැලසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි දුෂ්කර කාලයේදී ශී‍්‍ර ලංකා පැරා ක්‍රීඩකයන් 9ක් පැරාලිම්පික් සුදුසුකම් ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් බව ජාතික පැරාලිම්පික් කමිටු සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් මහතා ‘දිනමිණ’ට පැවසීය.

මෙවරත් පසුගිය වසරේ මෙන් පැරාලිම්පික් පදක්කම් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට හැකි වනු ඇතැයි ජාතික පැරාලිම්පික් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

ප්‍රින්ස් ගුණසේකර