ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩයලොග් ආසියාටා සමාගම සමඟ එක්ව සංවිධාන කරන ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ අපරාජිත බව රැක ගැනීමේ තීරණාත්මක සටනට දසුන් ශානකගේ ග්‍රේස් සහ ඇන්ජෙලෝ පෙරේරාගේ බ්ලූස් අද පල්ලේකැලේ පිටියට පිවිසෙයි.
තරගාවලියේ 6 වැනි තරගය වන මෙය අද රාත්‍රී 7.00ට පැවැත්වෙන අතර, ඊට පෙර පස්වරු 2.30ට දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් සහ අශාන් ප්‍රියංජන්ගේ ග්‍රීන්ස් අතර තරගය පැවැත්වේ. එම කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගිවූ තරග දෙකම පරාජයට පත්ව සිටී.
මේ අතර, තරගාවලියේ දෙවැනි දිනය යටතේ පෙරේදා පැවැති පළමු තරගය ජය ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් වූ අතර, දෙවැනි තරගයේ ජය බ්ලූස් පිල සතු විය.
ග්‍රේස් පිල සමඟ පැවැති තරගාවලියේ තෙවැනි තරගයේදී දිනේෂ් චන්දිමාල් මෙහෙයවන රෙඩ්ස් පිල ලකුණු 35කින් පරාජයට පත් විය. මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ග්‍රේස් පිල දුන් ලකුණු 155ක ඉලක්කය හඹා ගිය රෙඩ්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 119ක් පමණි. රෙඩ්ස් පිල වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ ඕෂද ප්‍රනාන්දු පන්දු 49කින් ලකුණු 52ක් රැස් කළ අතර, ග්‍රේස් පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 12 සීමා ඉක්මවීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී අෂේන් ඩැනියෙල්, ළහිරු මධුශංක සහ නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් ඉනිමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ඉනිම ගොඩනැඟීමේ කාර්ය සියතට ගත් නායක දසුන් ශානක ලකුණු 48ක් රැස් කළේ පන්දු 38කිනි. ඔහු හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කර ගත් අතර, පුලින තරංග වේගවත් ලකුණු 20ක් ඉනිමට එක් කළේ පන්දු 10කිනි. පන්දු යැවීමේදී සීක්කුගේ ප්‍රසන්න සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.
සිව්වැනි තරගයෙන් බ්ලූස් හමුවේ ග්‍රීන්ස් පිල පරාජයට පත් වූයේ කඩුලු 5කිනි. එම තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ග්‍රීන්ස් පිල දුන් ලකුණු 181ක ඉලක්කය පන්දු 3ක් ඉතිරිව තිබියදී සපුරාගත් බ්ලූස් පිලට අහිමි වූයේ කඩුලු 5ක් පමණි. සදීර සමරවික්‍රම පන්දු 38කින් ලකුණු 47ක් රැස් කරමින් බ්ලූස් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් අතර, අෂේන් බණ්ඩාර සහ සහන් අරච්චිගේ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 38කින් ලකුණු 71ක වේගවත් සබඳතාවක් පිහිටුවමින් බ්ලූස් ජය තහවුරු කළහ.
බණ්ඩාර පන්දු 18කදී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 36ක් රැස් කළ අතර, සහන් ලකුණු 38ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 38කිනි.
පළමුව පන්දුවට පහර දුන් ග්‍රීන්ස් ඉනිමට දෙවැනි තරගයේදීත් සාර්ථක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට පැතුම් නිශ්ශංක සහ කමිඳු මෙන්ඩිස් සමත් වූයේ ලකුණු 95කි. නිශ්ශංක පන්දු 54කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් රැස් කළ අතර, ඔහුට අගනා සහායක් දුන් කමිඳු මෙන්ඩිස් වේගවත් ලකුණු 53ක් රැස් කළේ පන්දු 25ක් පමණක් වැය කරමිනි. හතරේ පහර 4කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත් ඔහු මේ තරගාවලියේ පිට පිට රැස් කළ දෙවැනි අර්ධ ශතකය මෙයයි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තේ ඕවර 4කදී ලකුණු 12ක් පමණක් දෙමිනි.