කමිටු යෝජනාවල අකුරක්වත් වෙනස් කළේ නෑ ක්‍රිකට් සභාපති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුල්වලින් පසුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ලබන මස පළමු වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් දක්වා මාස 4කට අදාළ නව කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කිරීමට තීරණය කරයි. මෙයට මාස කිහිපයකට පෙර කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කිරීම සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනකුගේ ක්‍රියා කලාපයත් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කැළැඹීම් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබුණද, කලින් යෝජනා වූ පරිදිම කොන්ත්‍රාත් ගිවිසුම අස්සන් කිරීම සිදු වේ.
නව කොන්ත්‍රාත් ගිවිසුම් අනුව තරග ජයග්‍රහණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල බෝනස් මුදලක් හිමි වේ. ටෙස්ට්, එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් රැස් කරන ලකුණු අනුව මුදල් ගෙවීම් වැඩිවන අතර එම අන්තර්ජාතික තරගවලදී පන්දු යවන්නන් වැඩි කඩුලු ගණනක් දවාගෙන දක්වන පුද්ගලික දක්ෂතාවලදී අතට ලැබෙන මුදල් වැඩි කරදීමට නව කොන්ත්‍රාත් ගිවිසුම අනුව සිදුවේ. මෙමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට තල්ලු කිරීම අපේක්ෂාවවී තිබේ.
දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන නව කොන්ත්‍රාත් ගිවිසුම පිළිබඳ නිර්දේශ අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී තිබු අතර එම ගිවිසුමට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු අකමැත්ත පළ කළේය. එහෙත් දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදුවන එම පැරණි ගිවිසුමේ අකුරක් හෝ වෙනස් නොකොට ගිවිසුම ක්‍රියාත්මක වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. ක්‍රිකට් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී තිබු ඉතා සාධාරණ විසඳුම් සහිත යෝජනාවලට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය හිමිව තිබිණි.
මෙතෙක් ක්‍රියාත්මක වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අනුව පළමු කාණ්‌ඩයට ඇතුළත් ක්‍රීඩකයකුට අමෙරිකානු ඩොලර් 125,000ක් (රුපියල් ලක්ෂ 240), දෙවැනි කාණ්‌ඩයේ ක්‍රීඩකයකුට අමෙරිකානු ඩොලර්. 80,000ක් (රුපියල් ලක්ෂ 154) සහ තෙවැනි කාණ්‌ඩයේ ක්‍රීඩකයෙකුට අමෙරිකානු ඩොලර් 60,000ක් (රුපියල් ලක්ෂ 116) බැගින් හිමි විය.
පැරණි වාර්ෂික කොන්ත්‍රාත්තුවට අමතරව ටෙස්‌ට් තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර්. 5000 (රුපියල් ලක්ෂ 10) හිමිවන අතර ටෙස්ට් තරගයක් ජයගතහොත් සෑම ක්‍රීඩකයෙකුටම ඇමෙරිකානු ඩොලර් 7500 ක් (රුපියල් ලක්ෂ 15) බැගින් හිමි වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම ගෙවීම් වෙනසකට භාජනය කොට ක්‍රීඩකයන් වඩාත් දිරි ගැන්වෙන තත්ත්වයකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කළේ පසුගිය දකුණු අප්‍රිකානු හා එංගලන්ත ටෙස්ට් තරගාවලි පරාජය වීමත් සමගය.
මෑතකදී නිමා වූ ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නවක ක්‍රිකට් ක්‍රීඩකයින් ද නව කොන්ත්‍රාත් ගිවිසුම් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති. ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ පන්දු යවන්නන් වන චාමික කරුණාරත්න සහ අසිත ප්‍රනාන්දු නව කොන්ත්‍රාත් ගිවිසුම් ක්‍රීඩක ලැයිස්තුවේ සිටිති.
පසුගිය එංගලන්ත ක්‍රිකට් සංචාරයට සූදානම් වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධ සාකච්ඡාවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අතර එහිදී ක්‍රීඩකයෝ මුදල් ගෙවීම් සම්බන්ධ විවිධ කොන්දේසි නීතිඥයින් මාර්ගයෙන් ද ඉදිරිපත් කළහ. එහෙත් එංගලන්ත ක්‍රිකට් සංචාරයේ සියලු තරග පරාජය වීමත් සමග එම වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ඉල්ලීම් ඉදිරියට ගෙන යෑමට ක්‍රිකට් ක්‍රීඩකයෝ අසමත් වූහ.
ප්‍රින්ස් ගුණසේකර