තුවාලකරුවෝ දහස් ගණන්: රෝහල් පිරී ඉතිරෙයි
දින කිහිපයකට පෙර හයිටි රාජ්‍යය උඩුයටිකුරු කළ මහා භූ කම්පනයෙන් මේ වන විට මිය ගිය පිරිස 1419 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රමාණය 6,000කට අධික බව විදෙස් පුවත් වාර්තා කළේය. රිච්ටර් මාපකයේ 7.2ක අගයක් සටහන් කරමින් ඇතිවූ මේ භූ කම්පනයෙන් බිඳ වැටුණු ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් තිබෙන බැවින් සුන්බුන් අතර සිරවූ මළ සිරුර සංඛ්‍යාවක කොපමණදැයි නිශ්චිතව පැවැසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද වාර්තා වේ. මීට පෙර 2010 වසරේ එරට සිදු වූ රිච්ටර් මාපකයේ 7.0ක අගයක් සටහන් කළ භූ කම්පනයෙන් පුද්ගලයන් ලක්ෂ දෙකක් මිය ගිය අතර, අවතැන් වූ පිරිස ලක්ෂ 15කට අධික විය. හයිටි හමුදාව සහ ආපදා සේවකයන් විශාල සංඛ්‍යාවක් සමඟ භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයන් හා සුන්බුන් අතර සිර වූ මළ සිරුරු සෙවීමට ස්වේච්ඡා සංවිධාන රැසක් ද එක්වී සිටී. මියගිය පිරිස අතර දරුවන් හා කාන්තාවන් විශාල ප්‍රමාණයක් ද සිටින බව වාර්තා වේ. ළඟ ළඟ එන නිවර්තන උෂ්ණ කලාපයට අයත් කුණාටු සහිත වර්ෂාවට පෙර මේ මෙහෙයුම් අවසන් කිරිමට බලධාරීන් උත්සාහ කරමින් සිටින්නේ අධික වර්ෂාවත් සමඟ භූ කම්පනය සිදුවූ පළාත ජලය හා මඩ පිරෙන්නට වීමෙන් මෙහෙයුම් කටයුතු අඩාල වන බැවිනි. තුවාලකරුවන් දිවා රාත්‍රී රෝහල් කරා පැමිණෙමින් සිටින අතර, අවට පළාතේ රෝහල් සියල්ල පිරී ඉතිරි ගොස් ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.