රටවල් 5ක සහභාගීත්වයෙන් මාලදිවයිනේදී සංවිධාන වන සාෆ් පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන මුල්ම තරගය ඔක්තෝබර් 1 දා පස්වරු 7.00ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය හා ඉන්දියාව සහභාගි වන මෙවර තරගාවලියේ තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත්විය. සියලුම තරග මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, එක් දිනකදී පස්වරු 4.00ට හා පස්වරු 7.00ට තරග දෙකක් සුදානම් කොට ඇත.
ඔක්තෝබර් 3වැනිදා ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය පස්වරු 7.00ට, 6වැනිදා ඉන්දියාව සමග තරගය පස්වරු 4.00ට ආරම්භ වේ. 8වැනිදා මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර තරගය පස්වරු 4.00ට පැවැත්වෙන අතර, 13 වැනිදා පස්වරු 8.00ට විදුලි ආලෝකධාරා මැද අවසන් තරගය පැවැත්වේ. මේ අවසන් තරගයට කණ්ඩායම් 5න් පළමු වටයේදී වැඩිම ලකුණු ලැබූ කණ්ඩායම් දෙක සුදුසුකම් ලබති. මෙවර සාෆ් පාපන්දු ශූරතාවලියට සහභාගීවන කණ්ඩායම් ප්‍රමාණය අඩු වී ඇති හෙයින් මූලික වටය එක් කාණ්ඩයක් ලෙස ක්‍රියාත්මක වේ.
මාලදිවයිනට සාෆ් පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකාව සමග ඒකාබද්ධව 2008දී ලබාදුන් අතර, එයට පෙර හෝ පසු අවස්ථාවක් ලැබී නැත. එබැවින් මෙවර සාෆ් පාපන්දු ශූරතාව උසස් අන්දමින් සංවිධාන කිරීම මාලදිවයින රජයේ අපේක්ෂාව වී තිබේ. දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මේ 20 වැනිදා සිට බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී පුහුණුව ආරම්භ කිරීමට සූදානම් වන අතර, මුලින් 30කගන් සමන්විත සංචිතයක් සූදානම් කර අවසානයේ මාලදිවයිනට යන කණ්ඩායම 23 දක්වා අඩු කිරීමට කටයුතු යෙදේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ විදෙස් පුහුණුකරු යටතේ සූදානම් වන පාපන්දු ක්‍රීඩකයන්ට නේවාසික පුහුණුව සදහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවය.