හිමේෂ් රාමනායකගෙන් සුපිරි පන්දු යැවීමක්
හිමේෂ් රාමනායකගේ විශිෂ්ට පන්දු යැවීමත්, දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියේ බ්ලූස් පිල සමඟ ඊයේ පස්වරු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමට රෙඩ්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ රෙඩ්ස් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 146 හඹා ගිය රෙඩ්ස් පිල තරගය ජය ගත්තේ ඕවර 19ක් අවසානයේ කඩුලු 4ක් පමණක් වැය කරමිනි.
සදීර සමරවික්‍රම සමඟ ඉනිම ආරම්භ කළ බ්ලූස් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පන්දු 47කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 55ක් රැස් කිරීමට සමත්වූ අතර, අගපෙළ පිතිකරු ළහිරු සමරකෝන් නොදැවී ලකුණු 35ක් ලබාගත්තේ පන්දු 21කිනි. බ්ලූස් ඉනිමට දැඩි තර්ජනයක් එල්ල කළ වේගපන්දු යවන ක්‍රීඩක හිමේෂ් රාමනායක ලකුණු 31කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුව වන ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 9කට දැවී යෑමෙන් පසු වගකීම කරට ගත් නායක චන්දිමාල් පන්දු 44කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. අසේල ගුණරත්න සහ චාමික කරුණාරත්න නොදැවී ක්‍රීඩා කරමින් රෙඩ්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කළහ. අසේල නොදැවී ලකුණු 23ක් ලබාගත් අතර, චාමික නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 16කි.