සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසුවේ, මේ වනවිට රට තුළ පවතින්නේ කොවිඩ් රැල්ලේ සුනාමියක් වැනි තත්ත්වයක් බව යි.
මේ වනවිට රෝහල්ගතවී සිටින කොවිඩ් රෝගීන් රෝහල්ගතවී ඇත්තේ කොවිඩ් නිසාම නොවන බව ඒ මහතා තව දුරටත් පවසා සිටියා.
“කොළඹ ජාතික රෝහලේ දැන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා තියෙනවා. මේ වනවිට රෝහල්ගතවී සිටින කොවිඩ් රෝගීන් රෝහල්ගත වෙලා ඉන්නේ කොවිඩ් නිසාම නෙමෙයි. ඒ අයට කොවිඩ් තියෙනවා.. නමුත් වෙන වෙන රෝග තත්ත්වයන් නිසාත් ඔවුන් රෝහල්ගත වෙලා තියෙනවා.”
“මෙයින් වැඩිදෙනෙක් එන්නත් ලබානොගත් අය. එන්නත් ලබාගත් අයගේ තියෙන රෝග ලක්ෂණ ඉතාම අඩුයි.”
“ඒ රෝගීන්ව රෝහල් තුළ තබාගත යුතු තත්ත්වයක් නැති තරම්.”
“කොවිඩ් රැල්ල ආරම්භ වෙලා දැන් ගොඩක් ඉවරයි. දැන් අපි දකින්නේ ඒ රැල්ලේ ඉහළට නගින සුනාමියක් තමයි. අපි බලාපොරොත්තු වෙනාවා ඒ වේගෙන්ම ඉවරවෙයි කියලා. මට පේන විදිහට නම් සමාජයේ ගොඩක් දුරට කොවිඩ් තියෙන නිසා ජනගත වෙලා කියලා හිතෙනවා. මට පේන්නෙත් එහෙමයි.”
“අපි දැකලා තියෙනවා කොවිඩ් දෙපාරක් හැදෙනවා. තාම මම දැකලා නෑ.. තුන්වෙනි පාර හතරවෙනි පාර හැදෙනවා. හැබැයි ඉදිරියෙදී එහෙම වෙන්න පුළුවන්. ඒක සුලබ දෙයක් නෙමෙයි.”
මෙම මාධ්‍ය හමුවට එක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
“කිසිම කෙනෙකුට නව සාමාන්‍යකරණයෙන් එහාට යෑමට අවස්ථාවක් නෑ. එන්නත්කරණය සම්පූර්ණ කළ අයටත් නව සාමාන්‍යකරණය යටතේ තමයි කටයුතු කරන්න වෙන්නේ.”
“අද තියෙන තත්ත්වය අනුව රෝග ලක්ෂණ රහිත පුද්ගලයෝ අතිවිශාල සංඛ්‍යාවක් සමාජයේ ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ මේ රෝගය සමාජගත වෙලාද කියලා පැහැදිලිව කියන්න පුළුවන් කමක් නෑ.”
“නමුත් අපිට සෞඛ්‍ය පුරුදු හරියට ක්‍රියාත්මක කරලා එන්නත් ලබාගෙන මේ රෝගය පාලනය කරගත්තොත් අපිටත් අවුරුදු කන්න පුළුවන් වෙයි.”