මෙරට ක්‍රීඩා ක්ෂේත්රයේ කැපී පෙනෙන දස්කම් පෑ ඉබ්රාහිම් හමීඩ් සහ සුල්කි හමීඩ් පිය පුතු දෙපළම කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගියහ. 70 දශකයේ ශ්‍රී ලංකා රග්බි පිටියේ විශිෂ්ට ක්‍රීඩකයකු ලෙසත්, පොලිස් ක්‍රීඩා සමාජයේ නායකයකු ලෙසත් කටයුතු කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉබ්රාහිම් හමීඩ් (ටැන්කර්) සහ ඔහුගේ පුත්‍රයකු වන ක්‍රිකට් හා රග්බි පිටියේ හිටපු ක්‍රීඩකයකු වූ සුල්කි හමීඩ් දෙදෙනාම කොවිඩ් මාරයාට බිලි වූයේ එක ළඟ දින දෙකකදීය.
මිය යන විට 77 හැවිරිදි වියෙහි පසු වූ ඉබ්රාහිම් හමීඩ් සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා රග්බි සභාපතිගේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇති අතර, ක්‍රීඩාවෙන් සහ පොලිස් සේවයෙන් සමුගැනීමෙන් පසු බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙසත්, පොලිස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසත් වසර කිහිපයක් කටයුතු කළේය. සහිරා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඉබ්රාහිම් හමීඩ් දක්ෂ වෙඩික්කරුවකු ද වන අතර, ලෝක වෙඩි තැබීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙසත් කටයුතු කර ඇත.
කොවිඩ් ආසාදනය විමෙන් දින ගණනාවක් රෝහල්ගතව ප්‍රතිකාර ගත් ඒ මහතා පෙරේදා ජීවිතයෙන් සමුගත් අතර, ඊයේ උදෑසන ඔහුගේ පුතු සුල්කි හමීඩ් ද කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගියේය.
කොළඹ රාජකීය විදුහලෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් හා රග්බි ක්‍රීඩකයකු ලෙස නම් දරා සිටි 48 හැවිරිදි සුල්කි හමීඩ් රාජකීය විදුහලේ පළමු පෙළ ක්‍රිකට් පිලේ උපනායකයා ලෙසත්, පළමු පෙළ රග්බි පිලේ නායකයා ලෙසත් කටයුතු කර ඇති අතර, අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් රසල් ආනෝල්ඩ්, චමින්ද වාස් සහ සජිත් ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් සමඟ එංගලන්ත සංචාරයකට ද එක් වී තිබේ.
ෆවුස් මොහොමඩ්


