29 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලකුණු රැස් කළොත් තරග දිනුවොත් සල්ලි ලැබෙන ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයන් 18ක්...

ලකුණු රැස් කළොත් තරග දිනුවොත් සල්ලි ලැබෙන ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමට ක්‍රීඩකයන් 18ක් නම් කරයි

වසර 13කට පසු මැතිව්ස් හැලී යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 18ක් මේ මස පළමු වැනිදා සිට මේ වසරේ දෙසැම්බර් දක්වා මාස 5කට අදාළ නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට තීරණය කරයි. මෙවර ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හැලී ගොස් ඇති අතර, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් තහනමකට ලක්ව සිටින හෙයින් ඇතුළත්ව නැත.

කලක් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් වසර 13කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවතට යෑම කැපී පෙනේ. ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුන්වා දුන් නව කොන්ත්‍රාත් ගිවිසුමට එරෙහි වූ ක්‍රීඩකයන් අතර, ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ද කියැවිණි.

මෙයට මාස කිහිපයකට පෙර කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ගොස් ප්‍රමාදයක් ඇති වුයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ ක්‍රියා කළාපය හා අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥයකුගේ තර්ක විතර්ක හේතුවෙනි. එහෙත් එම සියලු උත්සහයන් ව්‍යර්ථව ගොස් අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව කලින් යෝජනා කළ දක්ෂතා මත පදනම්ව ගෙවීම් සිදු වන කොන්ත්‍රාත් ගිවිසුම කිසිදු වෙනසකට භාජනය නොවී අත්සන් කිරීමට සියලු ක්‍රීඩකයන් එකඟ වී ඇත.

නව කොන්ත්‍රාත් ගිවිසුම් අනුව තරග ජයග්‍රහණයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල බෝනස් මුදලක් හිමි වේ. ටෙස්ට්, එක්දින හා විස්සයි 20 ක්‍රිකට් තරගවලදී පිතිකරුවන් රැස් කරන ලකුණු අනුව මුදල් ගෙවීම් වැඩි වන අතර, එම අන්තර්ජාතික තරගවලදී පන්දු යවන්නන් වැඩි කඩුලු ගණනක් දවාගෙන දක්වන පෞද්ගලික දක්ෂතාවලදී අතට ලැබෙන මුදල් වැඩි කර දීමට නව කොන්ත්‍රාත් ගිවිසුම අනුව සිදු වේ. මෙමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට තල්ලු කිරීම අපේක්ෂාව වී තිබේ.

ක්‍රීඩකයන් කාණ්ඩ හතරක් යටතේ තෝරා ගෙන ඇති අතර, කාර්ය සාධනය, යෝග්‍යතාව, නායකත්වය, ජ්‍යෙෂ්ඨත්වය, වෘත්තීයභාවය, හැසිරීම් මාලාව සහ අනාගතය වැනි නිර්ණායක මත පදනම්ව නම් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වඩාත් දිරි ගැන්වෙන තත්ත්වයකට පරිවර්තනය කිරීමට අපේක්ෂා කළේ පසුගිය දකුණු අප්‍රිකානු හා එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙකම පරාජයවීමත් සමඟය. මෑතකදී නිමා වූ ඉන්දියාවට එරෙහිව පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ නවක ක්‍රිකට් ක්‍රීඩකයන් ද නව කොන්ත්‍රාත් ගිවිසුම් ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කොන්ත්‍රාත් දුන් ක්‍රීඩකයන් මෙසේය:

ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර, අකිල ධනංජය.

ප්‍රින්ස් ගුණසේකර