පා.ම. එස්.එම්. මරික්කාර්
පළමුවැනි සහ දෙවැනි එන්නත් මාත්‍රා දීම අතර සති කිහිපයක පරතරයක් පැවතීම ගැටලුකාරී තත්ත්වයක් නිසා එන්නතකරණය සැලසුමකට කළා ද, තදියමට කළා ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (21) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය:
“වෙනත් රටවල පළමුවැනි සහ දෙවැනි එන්නත් මාත්‍රා අතර සුළු පරතරයක් පවතිනවා. කොවිඩ් මර්දන බළකායට එන්නත ගෙන්වීමට අනුමැතිය ලැබුණේ ප්‍රමාද වෙලා. ඒ වන විටත් ලොව අනෙකුත් රටවල් එන්නත ගැනීමට පොරබදන තත්ත්වයක් පැවතියා. එන්නත දීමෙන් පසු පූර්ණ ප්‍රතිශක්තිකරණයක් සිදු වන්නේ සති කිහිපයකින් පසු නම් පළමුවැනි එන්නත කෝටියකට දී, දෙවැනි එන්නත මිලියන තුනකට දෙනවා නම් ඉන් පලක් නෑ. එන්නත්කරණය ප්‍රමුඛතාව නම් එය ඇණවුම් නොකර පැණි ප්‍රවර්ධනයට කටයුතු කළේ ඇයි දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.
තිහට වැඩි 98%කට එන්නත්කරණය සිදු කළ බව ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැවැසුවත්, ඒ දී ඇත්තේ පළමු මාත්‍රාව පමණයි. හැටට වැඩි අයට මුලින්ම එන්නත් නොකර 30ත් 60ත් අතර අයට එන්නත් කළා. මිය ගිය 90%ක්ම වයස අවු: 60ට වැඩියි. ඒ අයගෙන් බහුතරය එන්නත ගෙන නැති බවත් වෛද්‍යවරුන් කියනවා. ඒ් අය එන්නත ගත්තේ නැති අය නොවෙයි. ඒ අයට එන්නත දුන්නේ නෑ. ප්‍රමුඛතාව අනුව මේ ආණ්ඩුව කටයුතු කළේ නැති නිසා ඒ අය මිය ගියා. එහි වගකීම මේ ආණ්ඩුව භාර ගත යුතුයි.
දිගටම රට වහලා තිබුණොත් කැප කිරීම් කරන්න සූදානම් වෙන්න කියලා ජනාධිපතිවරයා සිය කතාවේදී කිවුවා. රටක් ලෙස අප සියලු දෙනා ඒ කැප කිරීම් කරන්න එකට සිට ගත යුතුයි. ඒත් ප්‍රසන්න රණතුංග සහ සිසිර ජයකොඩි ඇමැතිවරුන් කියනවා වගේ ජනතාවගේ පඩි කපන්න ආණ්ඩුවට අයිතියක් නෑ.”
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්