මන්ත්‍රී, අධිනීතිඥ චන්දිම වීරක්කොඩි
ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම අපහසුම රාජ්‍ය පහ අතරට අප රටද එක්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අධිනීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ අක්මීමණ ප්‍රදේශයේ පසුගිය 20 දා පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය:
“ජනතාවට ජීවත්වීමේ ප්‍රශ්නය තදින් දැනෙන යුගයක්. වෙනදා මේ වගේ අවස්ථාවක සුභසාධන රාජ්‍යයක් හැටියට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් අපේ රට ආර්ථික වශයෙන් දැඩි පීඩිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ලෝකයේ ආහාර හිඟයක් ඇති වන විට ‘අපි වවමු රට නඟමු’ වැඩසටහන යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. දැන් එහෙම කරන බවක් පේන්නේ නෑ; දැනෙන්නේ නෑ. ජනතාවට බඩගින්න තදින්ම දැනෙනවා.
අපේ රටේ දින 27කට තමයි තෙල් සංචිත පවත්වාගෙන යෑමට හැකියාව තිබෙන්නේ. මා ඇමැති ධුරය දැරූ කාලයේ උත්සාහ කළා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය අත්පත් කරගෙන ගබඩා පහසුකම් ඇති කරන්න; ඒ වගේම හම්බන්තොට ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංස්ථාවට ගෙන, එහි ගබඩා පහසුකම් ආරම්භ කරන්න. මේ ටැංකි සංකීර්ණ දෙක කඩිනමින් භාවිතයට ගන්නා ලෙස වත්මන් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”
දික්වැල්ලේ තිලකරත්න –
ගාල්ල උතුර සමූහ