ටෝකියෝ නුවරදී දිනා ගත් රිදී පදක්කම මාස අටක සිඟිති පුතකුගේ බරපතළ හෘදය සැත්කමක් වෙනුවෙන් වෙන්දේසියට තැබූ පෝලන්ත ක්‍රීඩිකා මාරියා ඇන්ඩ්රජ්සික් පිළිබඳ මේ වන විට මුළු ලෝකයම කතා කරයි.
25 හැවිරිදි මාරියා තවමත් අම්මා කෙනෙක් නොවේ. ඇය විවාහය අපේක්ෂාවෙන් තම සහකරු සමඟ සිටින්නීය. එහෙත් ඇය හිත උණු වන අම්මා කෙනකු සේ හැසිරීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සුන්දර කතාවකි.
මාරියා අස්ථි පිළිකාවකින් පීඩා විඳ තිබියදී මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළ වෙත පැමිණ හෙල්ල විසි කර රිදී පදක්කම දිනාගත් අතර, බිලිඳු පුතුගේ හෘදය සැත්කම වෙනුවෙන් එය වෙන්දේසි කරන්නට අවශ්‍ය බව වැඩි දවසක් නොගොස් කල්පනා කළාය. මුදල් අගහිඟකම හේතුවෙන් හෘදය සැත්කම පමා වුව හොත් පුංචි පුතු මියයෑමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසා ඇති හෙයින් ටෝකියෝහිදී ගෙල පැලඳි රිදී පදක්කම පෝලන්තයේ ‘සබ්කා’ නමැති වෙළෙඳ ජාලය වෙත මාරියා වෙන්දේසිය වෙනුවෙන් වහාම භාර දුන්නාය.
මිලොසෙක් මාලිසා නම් වූ සිඟිති පුතුගේ හෘදය සැත්කම වෙනුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් රෝහලේදී හෘදය සැත්කම සිදු කිරීමට පවුම් ලක්ෂ 3කට ආසන්න මුදලක් අවශ්‍ය වී තිබිණි. පුතුගේ ඉරණම ගැන දැනගත් මොහොතේ පටන් ඇයගේ පවුලේ අය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අරමුදල් එක් රැස් කිරීමට වෙහෙසුණ ද, රැස් කර ගැනීමට හැකිව තිබුණේ ඒ මුදලින් හරි අඩක් පමණි.
“පුතාගේ වේදනාව දැනගත් පසු මා දිනාගත් රිදී පදක්කම වෙන්දේසි කරන්න මගේ හිත හදාගන්න වැඩි වෙලා ගත වුණේ නෑ” මාරියා පැවසුවාය.
මාරියා වසර 2016 රියෝ ඔලිම්පික් උලෙළට එක් වූ අතර, හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පදක්කම සෙන්ටිමීටර දෙකක් අඩු වීමෙන් අහිමි වී ගියේය. අනතුරුව 2017 වසරේ උරහිසේ ආබාධයක් හේතුවෙන් ඇයට සියලු තරග අහිමි විය. 2018 වසරේදී කිසිවකුත් නොසිතූ පරිදි මාරියාට අස්ථි පිළිකාවක් වැලඳී ඇති බව දැනගත් අතර, මේ හේතුවෙන් විශාල අපහසුතාවකට ලක් වූවාය. යළිත් ක්‍රීඩා පිටියට පිවිසීමට මාරියාට හැකියාවක් ඇති වේද යන්න කා හටත් ප්‍රශ්නයක් විය. එහෙත් මාස හතරක් යද්දී යළිත් ඇයට සුපුරුදු තත්ත්වයට පැමිණීමට දෛවය වාසනාව උදා කළේය. වසරක පමණ පුහුණුවකින් පසු ඇය ටෝකියෝ ඔලිම්පික් උලෙළට පැමිණියේ සියලු බාධක කම්කටොලු මැද ආත්ම ශක්තියේ හෙල්ල විසි කිරීමටය.
ඒ ආත්ම ශක්තියේ හෙල්ලයෙන් දිනාගත් රිදී පදක්කම වෙන්දේසියෙන් ඇයට පවුම් 125,000ක් ලැබිණි. ඒ මුදල මිලොසෙක් මාලිසා පුතුගේ ජීවිතය බේරාගන්නට හොඳටම ප්‍රමාණවත් විය.
ඇයගේ පදක්කම වෙන්දේසියෙන් හිමි කර ගත් පෝලන්තයේ සබ්කා සුපිරි වෙළෙඳසල් ජාලය, මරියාට එම මුදල පරිත්‍යාගයක් සේ පිරිනැමීමට කටයුතු කළේය. හදවත් සැත්කමට මුදල් සොයන අවංක උත්සාහයකදී එම සබ්කා සුපිරි වෙළෙඳසල් ජාලය හදවතක් ඇති සමාගමක් සේ හැසිරුණ හෙයින් පුතුගේ සැත්කම කිරීමට හැකියාව ලැබීමේ සතුට හා රිදී පදක්කම යන දෙකම මාරියා දැන් තුරුලු කර ගෙන සිටින්නීය.
ප්‍රින්ස් ගුණසේකර