32 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආරාධිත විස්සයි20ට වැස්සෙන් බාධා

ආරාධිත විස්සයි20ට වැස්සෙන් බාධා

ග්‍රේස් අපරාජිතවම අවසන් තරගයට

ඩයලොග් එස්එල්සී ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි තරගයත් වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් වෙයි.

පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවැති ‘ග්‍රේස්’ සහ ‘බ්ලූස්’ කණ්ඩායම් අතර තරගාවලියේ 11 වැනි තරගය මෙලෙස අත්හැර දැමිණි. ඒ සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.

මේ අතර, තරගාවලිය යටතේ පෙරේදා (21) පැවැත්වීමට තිබූ තරග දෙකත් වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදු විය. එහිදී 9 වැනි තරගය ග්‍රීන්ස් සහ බ්ලූස් අතරත් 10 වැනි තරගය රෙඩ්ස් සහ ග්‍රේස් අතරත් පැවැත්වීමට නියමිතව තිබිණි. මේ හේතුවෙන් සෑම කණ්ඩායමකටම ප්‍රසාද ලකුණු බැගින් පිරිනැමිණි.

මේ තරගයට පෙරම අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගැනීමට දසුන් ශානක මෙහෙයවන ‘ග්‍රේස්’ පිල සමත්ව සිටි අතර, මේ තරගය අත්හැර දැමීමත් සමඟ ඔවුන් අවසන් තරගයට එක් වන්නේ අපරාජිතයන් ලෙසිනි.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වන ‘බ්ලූස්’ පිලට ප්‍රසාද ලකුණු 6ක් හිමිව ඇති අතර, ඔවුන් අවසන් තරගයට එක් වනවාද නැද්ද යන්න ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ රෙඩ්ස් සහ ග්‍රීන්ස් අතර තරගයෙන් තීරණය වීමට නියමිතව තිබිණි. එම තරගයත් විසඳුමකින් තොරව නිමා වුව හොත් ‘බ්ලූස්’ පිලට අවසන් තරගයට එක් වීමේ අවස්ථාව උදා වන අතර, ‘රෙඩ්ස්’ පිලට ජයග්‍රහණයකින් පමණක් අවසන් තරගයට එක් වීමට අවස්ථාව තිබිණි.

මේ තරගයේ කාසියේ වාසිය දිනූ ‘බ්ලූස්’ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ‘ග්‍රේස්’ පිල කඩුලු 4ක් දැවී ලකුණු 156ක් රැස් කළ අතර, ‘බ්ලූස්’ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා වන විට ඕවර 3.5කදී කඩුල්ලක් දැවී ලකුණු 33ක් රැස් කර තිබිණි.

සධීර සමරවික්‍රම පන්දු 13කින් ලකුණු 20ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 4ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, දැවී ගිය පිතිකරු බවට පත් වූ ධනංජය ලක්ෂාන්ට රැස් කළ හැකි වූයේ ලකුණු 7ක් පමණි.

ග්‍රේස් ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට නොහැකි වුවත් චරිත් අසලංක සහ නුවනිඳු ප්‍රනාන්දු අර්ධ ශතක රැස් කරමින් කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 57ක් එක් කළ අතර, පන්දු 44කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 57ක් රැස් කර සිටි අසලංක දැවී යෑමෙන් ඒ සබඳතාව නිමා විය. කෙසේ වෙතත් ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි නුවනිඳු ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 36කිනි.

ලසිත් කෘස්පුල්ලේ ලකුණු 19කට දැවී ගිය අතර, ඊයේ දසුන් ශානකට රැස් කළ හැකි වූයේ ලකුණු 15ක් පමණි. පන්දු යැවීමේදී කළණ පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගයේදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණට විස්සයි20 තරග වරම් හිමි වීම විශේෂත්වයකි.

මේ තරගාවලියේ අවසන් මහා තරගය හෙට (24) පැවැත්වීමට නියමිතය.