එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වන ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිමා වූ කොදෙව් සහ බංග්ලාදේශ සංචාර සඳහා එක් නොවූ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මේ සංචිතයට නම් කර ඇති අතර, නවක ක්‍රීඩකයකු ලෙස කඩුලු රකින ජෝෂ් ඉන්ග්ලිස් එක් කර තිබීම ද විශේෂත්වයකි.
දණහිසේ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක් වීමෙන් පසු මෙ වන විට සුවය ලබමින් සිටින ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයෝ 15ක් ඇතුළත්ව සිටිති.
ප්‍රහාරාත්මක පිතිකරු ග්ලේන් මැක්ස්වෙල් සමඟ පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, මර්කස් ස්ටොයිනිස් හා කේන් රිචර්ඩ්සන් මේ සංචිතයට කැඳවා ඇති අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලානය තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබූ ස්ටීව් ස්මිත් ද මේ සඳහා එක්ව සිටී.
මේ සංචිතයේ කැපී පෙනෙන සිදු වීම වන්නේ කොදෙව් එක්දින තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවූ ඇලෙක්ස් කෙරීට ස්ථානයක් හිමි නොවීමයි.
සුපිරි 12 වටයෙන් ලෝක කුසලාන සටනට එක් වන ඔස්ට්‍රේලියාව ඔක්තෝබර් 23 දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලිය ආරම්භ කරයි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියා සංචිතය – ආරොන් ෆින්ච් (නායක), පැට් කමින්ස් (උප නායක), ඇෂ්ටන් අගාර්, ජෝෂ් හැසල්වුඩ්, ජෝෂ් ඉන්ග්ලිස්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාර්කස් ස්ටොයිනිස්, මැතිව් වේඩි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා, මිචෙල් ස්වෙප්සන්.
අතිරේක – ඩෑන් ක්‍රිස්ටියන්, ඩැනියල් සෑම්ස්, නෙතන් ඇලිස්.


