රටේ යහපත වෙනුවෙන් සිදු කරන්නට ආරම්භ කළ වෙනස්කම් සිදු කර මිස ඉවත්ව නොයන බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු සඳහා බඳවාගත් රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුකිරිම ප්‍රතිපත්තියක් ලෙස අත්හිටුවා ඇති අවස්ථාවක වුවත්, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර තිබෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වැදගත්කම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්,විශේෂ අවශ්‍යතාවයක් ලෙස ඔබට මෙම පත්වීම් පිරිනැමීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් කොට සලකනවා.
මීට පෙර බලය හෙබවූ සෑම රජයක්ම පාහේ සිදු කළ ආකාරයට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගනිමින් මින් ඉදිරියට ප්‍රාග්ධන වියදම් සිදු කිරීමට අපට හැකියාවක් නැහැ. පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් දේශපාලනඥයින් සතුව නැහැ. ඊට විසඳුම් ලබාදිය හැක්කේ ඒ ඒ ආයතන වශයෙන් සේවය කරන ඔබට, අපටම පමණයි.ඒ සඳහා මෙම ආයතන පාඩු නොලබන තත්ත්වයට පත් කළ යුතුයි. සිදුවන වංචා, දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්විය යුතුයි.
අප මේ ගත කරමින් සිටින්නේ දැනුම ප්රාග්ධනය බවට පත්වන යුගයක්. යහපත් හෙටක් උදෙසා තාක්ෂණික දැනුමින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි. අනාගත ලෝකයේ ඉහළම ඉල්ලුමක් පවතින්නේ තාක්ෂණික දැනුමින් යුතු වෘත්තිකයන්හටයි. රටේ පවතින විදේශ විනිමය හිඟයට ද ප්‍රධාන විසඳුමක් ලෙස තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ පුහුණු ශ්‍රමිකයින් වශයෙන් තරුණ පරපුර ඉදිරියට ගෙන ඒම සිදුකල යුතුයි. අපේ පරපුරට කරන්නට නොහැකි වූ දේ කරන්නට අපේ දරුවන්ට ඉඩ සලසා දිය යුතුයි. කෘතිම බුද්ධිය( artificial intelligence) භාවිත කරමින් සියලු කටයුතු කරගන්නා තත්ත්වයට ලෝකය පත්ව තිබියදී, අපද එම ඩිජිටල්කරණය වෙත යා යුතුයි.
ඒ වෙනුවෙන් තවත් මාස තුනක් තුළ පොදු ප්‍රවාහනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණ ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරන්නට අවශ්‍ය පියවර අපි ගන්නවා. දියුණු රටවල භාවිත කරන ආකාරයේ පොදු ප්‍රවාහනයේ නවීන තාක්ෂණික ක්‍රමවේද අපේ රටටත් හඳුන්වා දිය යුතුයි. ඊට බාධා සිදු කරන ඕනෑම අයෙකු පිළිබඳව අවශ්‍ය විනයානුකූල පියවර ගැනීමට අප පසුබට වන්නේ නැහැ. රටේ යහපත වෙනුවෙන් සිදු කරන්නට ආරම්භ කළ මෙම වෙනස්කම් සිදු කර මිස අප ඉවත්ව යන්නේ නැහැ.
සෑම විටම රැකියාවක් පමණක් නොව මිනිසුන් උදෙසා කරන සේවයක් ලෙස සලකමින් මෙම තනතුරුවල කටයුතු කිරීමට සියලු දෙනාම අධිෂ්ඨාන කර ගත යුතුය. ”