ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න සහ කඩුලු රකින පිතිකරුවකු වන හිටපු නායක දිනේෂ් චන්දිමාල් නේපාලයේ පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊපීඑල්) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබේ.
කණ්ඩායම් 6ක් එක් වන මේ තරගාවලියේදී සීක්කුගේ චිට්වාන් ටයිගර්ස් පිලට ක්‍රීඩා කිරීමට නියමිත අතර, චන්දිමාල් බහිරහවා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කිරීමට නියමිතය.
කැරිබියන්, පාකිස්තාන හා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කර ඇති 36 හැවිරිදි සීක්කුගේ අත්දැකීම් සහ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කණ්ඩායමට තෝරා ගැනීමට කටයුතු කළ බව චිට්වාන් කණ්ඩායමේ හිමිකරු පවසයි.
ඔහු විස්සයි20 අන්තර්ජාතික තරග 20කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
විස්සයි20 තරග 57කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කර ඇති චන්දිමාල් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇත.
එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2016 වසරේදී ආරම්භ වූ අතර, 2017 තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් කත්මණ්ඩු කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.
අවසන් වරට 2018 වසරේ පැවැති මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ සිව්වැනි වරටය. සැප්තැම්බර 25 දා ආරම්භ වීමට නියමිත තරගාවලිය ඔක්තෝබර් 9 දා නිමාවට පත් වීමට නියමිතය.