නර්තන ශිල්පිණියක වූ 28 හැවිරිදි ඉවන්තිකා කුමාරි හේරත් පසුගිය සෙනසුරාදා (12) ලණුවකින් එල්ලී මියගොස් තිබුනේ මහරගම දුම්රියපොළ පාරේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකකයක කාමරයකදීය.
කාමරයේ ඇය එල්ලී සිටියදී ඉන් මුදවාගෙන ඇයව රෝහල්ගත කිරීමට ඇගේ අනියම් පුරුෂයා කටයුතු කර තිබූ අතර ඇය රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබූ බව කළුබෝවිල රෝහල් ආරංචිමාර්ග දන්වා ඇත. ගෙළ වැළලාගත් තැනැත්තිය රැගෙන ආ පුරුෂයාව පොලිසිය ප්‍රශ්න කිරීමට ලක් කර ඇති අතර ඔහු සමග නැවත නිවාස සංකීර්ණයට ගොස් සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය කටයුතු කළේය.
ඉවන්තිකා කුමාරි හේරත් කුරුණෑගල හිරිපිටිය පදිංචිකාරියකි. ඇය හිරියාල අඔගස් වැව මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරා තිබේ. විද්‍යාලයේ දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස දස්කම් පෑ ඇය නිට්ටඹුව ඔමායා නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස කාලයක් කටයුතු කළාය. අනතුරුව ප්‍රසංග වේදිකාවේ නම රැන්දූ සියලුම ආකාරයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කළ ඇය ගීතවල පසුබිම් නර්තනයන්ට දායක වී ඇත.
2016 ඇය පළමු විවාහය සිදු කරගන්නා අතර පසුව ටික කලකින් විවාහයෙන් දික්කසාද වූ පසු 2017 පමණ සිට සිය ගම් ප‍්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප‍්‍රදේශයේ රැඳී සිටිමින් සිය නර්තන කටයුතු වෙනුවෙන් වෙහෙසෙමින් සිටියාය.
විවිධ රැකියාවල නිරතව සිටි කාලයේ ඇයට කොළඹ රැඳී සිටීමට නිවසක් ලබාදී ඇත්තේ ඇගේ අනියම් පෙම්වතෙකු බව කියන ව්‍යාපාරිකයෙකි. ඇගේ දිවිනසා ගත් අවස්ථාවේදී ඇය රෝහල වෙත රැගෙන යන්නේ එම පෙම්වතාය.
විවාහකයෙකු බව කියන ඔහු නිකවැරටිය මිල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන තිදරු පියෙකි. ඔහු රුපියල් 30000ක මාසික කුලියකට මහරගම දුම්රියපොළ පාරේ මහල් නිවාසයකින් නිවසක් ලබාගෙන ඇය පදිංචිකර ඇති අතර සතියකට වරක් පමණ එම නිවසට පැමිණ ඇය සමග අනියම් ඇසුර පවත්වා යන බව පැවසේ.
ලණුවකින් ගෙල වැළලාගෙන මියගිය නර්තන ශිල්පිනියගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න තවම විමර්ශන පවතින අතර ඒ සම්බන්ධයෙන් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි.