ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය.
තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කර මේ අවසරය දී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට එක් වීමට හැකි වනු ඇත. කෙසේ වෙතත්, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගවලට එක් වීම සඳහ ඔක්තෝබර් මස 10 වැනිදා ඔවුන් දෙදෙනාට යළිත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය සමඟ එක් වීමට සිදු වනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ ඉතිරි කොටසේදී වනිඳු සහ චමීර, විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.
කෙසේ වෙතත් එම කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබුව හොත් වනිඳුට සහ චමීරට එම තරග අහිමි වනු ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර මුලදී අයිපීඑල් තරගාවලිය අතරමඟ අත්හිටුවීමට පෙර බැංගලෝර් පිල නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට වනිඳුත්, ඩැනියෙල් සෑම් වෙනුවට චමීරත් ආදේශ කර තිබේ.
පසුගිය 21 වැනිදා ඔවුන් දෙදෙනා කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වූ බව බැංගලෝර් කණ්ඩායම නිවේදනය කළ ද ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මෙතෙක් අවසර හිමිව නොතිබිණි.
කෙසේ වෙතත් අයිපීඑල් තරගාවලිය ආරම්භයට පෙර මේ දෙදෙනා ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔවුන් එක් කර ගැනීමට කටයුතු නොකළේය.
එහෙත් ඉන්දීය පිල සමඟ නිමා වූ තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ලෝක පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට වනිඳු හසරංග සමත් වීම ද සහ චමීර ද නිමා වූ තරගාවලි කිහිපයේදී දැක්වූ කැපී පෙනෙන දස්කම් ද හේතුවෙන් ඔවුන්ට මේ අවස්ථාව උදා විය.
කෙසේ වෙතත් සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි20 තරගාවලියේ මූලික සංචිත සඳහා වනිඳු සහ චමීර ඇතුළත්ව ඇති අතර, එම තරගාවලිය නිමා වන්නේ ලබන මස 14 වැනිදාය.
අයිපීඑල් තරගාවලියේ ඉතිරි තරග ලබන මස 19 වැනිදා ආරම්භ වන අතර, තරගාවලිය නිමා වන්නේ ඔක්තෝබර් 15 වැනිදාය. ඉන් දින දෙකකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.
නිරෝෂාන් ප්‍රියංකර