ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය අදට (2) යෙදී තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙවර පක්ෂ සංවත්සරය මහජන සහභාගීත්යෙන් තොරව චාම් අන්දමින් සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
මෙවර සංවත්සරය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය ඉතිහාසයේ ප්‍රථම වතාවට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු සියලු පිරිස් එක්ව මෙවර සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය චාම් ලෙස මෙවර පැවැත්වෙන අතර, සංවත්සර උලෙළේ ආරාධිත දේශන පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු පවත්වති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑවන සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්ද පක්ෂය දීප ව්‍යප්ත මට්මමින් පවත්වයි. 1951 වසරේ අද වැනි දිනක එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේ ය. ඉන් වසර පහකින් පසුව මැතිවරණයට මුහුණ දුන් එම පක්ෂය ඇතුළු සන්ධානය 1956 වසරේදී මෙරට රාජ්‍ය බලය හිමි කර ගැනීමට සමත් වූයේ මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පත් වෙමිනි.
එතැන් සිට අවස්ථා කිහිපකදී රටේ රාජ්‍ය පාලනය හෙබවූ එම පක්ෂයේ නායකයෝ මෙරට සංවර්ධන ක්‍රියාවලියට හා රටේ ස්වෛරී භාවයට සුවිශේෂ දායක්තවයක් සපැයූහ.
ස්වර්ණා විජේකෝන්