දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණක් බවත් එනමුත් තමා සිතන්නේ රටේ අනාගතය ගැන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.
පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
“නුගේගොඩ අනුලා විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන් සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේදී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා. පාසලක් යනු, අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයයි. එමගින් රටට සේවය කිරීමට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මීට දශක පහකට පෙර පැවති අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධයාපන ක්‍රමය අතර විශාල වෙනසක් පවතිනවා.
එදා තිබුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන් පෙළපොත් පමණයි. නමුත් අද අධ්‍යාපනයට ඡංගම දුරකථන සහ පරිගණක භාවිතය එක්ව තිබෙනවා. එදා විදුලි වාහන පිළිබඳ සිතා තිබුණෙ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අද අවශ්‍යව තිබෙනවා.
සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි. අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි. අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාස හොඳින් අධ්‍යයනය කළයුතුයි. යුරෝපය අද ගිනිගන්න තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කාළගුණ විපර්යාස පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාලය වසර 10 කින් ආපස්සට ගෙන එය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව 2050 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබූ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ න්‍යාය පත්‍රය 2040 වන විට අවසන් කිරීමට සියලු රටවල් සූදානම් වෙමින් සිටිනවා.
අනෙක් කරුණ වන්නේ ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වීමයි. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක් චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ කිහිපයක් පමණක් අද ලෝක ආර්ථිකයට බලපෑම් කරනවා. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි. මෙම තාක්ෂණයන් සමඟ අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 300ක් 700ක් අතර විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සමග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.
අපි 1970 සහ 80 දශකයේ ඇඟළුම් කර්මාන්තයට සූදානම් වු අන්දමින් අප දැන් එම තාක්ෂණයන් වැළඳ ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සූදානම් වීමට නම් අප පළමුව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක්‍රමයකට ණය ලබාදිමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.
අද ඔබ Gen Z පරපුරේ දරුවන්. ඊළගට Gen Alpha කණ්ඩායමට සූදානම් විය යුතුයි. එහිදී ජංගම දුරකථනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි. මෙලෙස අධ්‍යාපන රටාව සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතුයි. දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.
මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.”