28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතුන් වසකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින තරග ජයක්

තුන් වසකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින තරග ජයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

අවිශ්කගෙන් විශිෂ්ට ශතකයක්

සැලසුම් සහගත පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට ශතකයත්, චරිත් අසලංකගේ වේගවත් අර්ධ ශතකයත් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවති ප්‍රථම එක්දින තරගයෙන් ලකුණු 14ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමත් විය.

මේ ජයග්‍රහණය වාර්තා පොතට එක් වන්නේ හරියටම වසර 3කට පසු ශ්‍රී ලංකාව එක්දින තරගයකින් දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසිනි. මීට පෙර අවසන් වරට දකුණු අප්‍රිකාව එක්දින පිටියේදී ශ්‍රී ලංකාවට පරාජය වූයේ 2018 වසරේ අගෝස්තුවේ ආර්. ප්‍රේමදාස පිටියේදීමය. මෙවර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 300ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකා පිලට ඕවර 50 නිමා වන විට රැස් කිරීමට හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් පමණි. මේ ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට මංපෙත් විවර කරනු ලැබුවේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු විසිනි. ඔහු කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සමඟ ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ද ඉක්බිති මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා සමඟ එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවේ ශ්‍රී ලංකා පිලේ නැංගුරම බවට පත් වෙමිනි. අනතුරුව සිය එක්දින තරග දිවියේ තුන්වැනි ශතකය වාර්තා කිරීමට ඔහු සමත් වූයේ චරිත් අසලංක සමඟ සිව්වැනි කඩුල්ලට ලකුණු 97ක සම්බන්ධතාවක් ගොඩ නඟමිනි.

සිය පළමු ලකුණු 50 ඉතා පරිස්සම් සහගතව ලැබූ මේ යොවුන් පිතිකරුවා ඉන් පසුව ලකුණු රැස් කිරීමේ වේගය වැඩි කළ අතර, ලකුණු 50 සිට 100 දක්වා යෑමට ඔහු වැය කළේ පන්දු 31ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 234ක්ව තිබියදී ඔහු ටබ්‍රේස් ෂම්සිගේ පන්දුවක් හමුවේ ලකුණු 118කට දැවී ගියේ අන්ඩිලි පෙලුක්වායෝ උඩපන්දුවක් රැක ගැනීමත් සමඟිනි. පන්දු 115ක් වැය වූ අවිශ්කගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

ධනංජය ද සිල්වා ඊයේ සිය සුපුරුදු තරග රටාවට පිවිසුණු අතර, අවිශ්කට කදිම සහයක් දීම කැපී පෙනිණි. ඔහු පන්දු 62කදී රැස් කළ ලකුණු 44ට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 137ක්ව තිබියදී පිටියට පිවිසි තවත් යොවුන් පිතිකරුවකු වන චරිත් අසලංක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් සිය එක්දින තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 72ක් රැස් කළේ පන්දු 62කිනි. එය ඔහු එක්දින ඉනිමක ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. අසලංකගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

අගනා පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකා පිලේ කේෂව් මහරාජ් සිය ඕවර 10 ඇතුළත ලකුණු 30ක් පමණක් වැය කරමින් කඩුලු 2ක් දවාලීමට සමත් විය. ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ලනු ලැබුවේ ඔහු විසිනි. ඊට ප්‍රථම ඔහු භානුක රාජපක්ෂ ලකුණු ලැබීමටත් පෙරම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්ව තිබිණි.

මේ දැවැන්ත ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව ආරම්භයේ සිටම ලකුණු ලැබීමේ වේගය වැඩි කළ අතර, ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්න්නට හිසරදයක් බවට පත් විය. හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සහිතව ඔහු රැස් කළ ලකුණු 96ට වැය වූයේ පන්දු 90ක් පමණි. මාක්‍රම්ගේ දැවී යෑමත් සමඟ මැදපෙළ පිතිකරු රසී වැන්ඩර් ඩුසේන් තරගයේ බර කරට ගෙන පිතිහරඹයේ නිරත වූව ද දකුණු අප්‍රිකානුවන්ට ජයක් ගෙන ඒමට තරම් එය ප්‍රමාණවත් නොවීය. ඩුසේන් පන්දු 59කින් ලකුණු 59ක් රැස් කළේ හතරේ පහර 6ක් සමඟිනි. දකුණු අප්‍රිකා පිලේ නායක ටෙම්බා බවුමා ඊයේ පිතිහරඹයේ නිරතව සිටියදී ශ්‍රී ලංකා පිලේ පන්දු රකින්නකු විසින් කඩුල්ලට එල්ල කරනු ලැබූ පන්දුවක් ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ වැදීමෙන් ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත් විය. ඒ වනවිට නොදැවී ලකුණු 38ක් ලබා සිටි බවුමා යළි පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ නැත.

දෙපිල අතර දෙවන එක්දින තරගය හෙට (4) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.