දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 8කින් 11 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 08ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කටාන, කදිරාන බේස්ලයින් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ත්රීරෝද රථයක පිටුපස ගමන් කළ 11 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්වුණි.
ඊයේ (23) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
කදිරාන හංදිය දෙස සිය කුළුණ හංදිය දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් එකවරම යූ හැඩයට හැරවීමේදී ත්රීරෝද රථය පෙරළී එම අනතුර සිදුව ඇත.
අදාළ අනතුරින් මියගොස් අත්තේ, තිඹිරිගස්කටුව ප්රදේශයේ පදිංචි දරුවෙකි.
ත්රීරෝද රථ රියදුරුගේ නොසැලකිලිමත් හා අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර දළුකාන – මහියංගනය මාර්ගයේ බදනාගල හංදිය අසලදී ත්රීරෝද රථයක්, ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 51 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මේ අතර අවිස්සාවේල්ල – හැටන් මාර්ගයේ දෙහිඕවිට නගරයේ අල්ගොඩ පාරට හැරෙන හංදිය අසලදී සිදුවූ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර නාරම්මල – කුලියාපිටිය මාර්ගයේ හොරොම්බාව ප්රදේශයේදී ඊයේ සිදුවූ රිය අනතුරකින් 69 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ගාල්ල – මාතර ප්රධාන මාර්ගයේදී යද්දෙහිමුල්ල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසට ධාවනයවූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඊයේ එම අනතුර සිදුව ඇත.
මේ අතර බින්ගිරිය – දුම්මලසූරිය මාර්ගයේ කඳුරුවැව ආසන්නයේදී සිදුවූ අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් විදුලි රැහැන් කණුවක ගැටී එම අනතුර සිදුව ඇත.
මේ අතර දෙහිඅත්තකණ්ඩිය – මහියංගන මාර්ගයේ නාගස්වැව හංදිය අසලදී සිදුවූ අනතුරකින් 34 හැවිරිදි යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර ත්රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ මොල්ලිපොතාන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 30 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.