26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා ගෝල් දෙකම ද්විත්ව පුරවැසියන්ගෙන්

ශ්‍රී ලංකා ගෝල් දෙකම ද්විත්ව පුරවැසියන්ගෙන්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගයේදී ශ්‍රී ලංකාව ලබාගත් ගෝල් දෙකම එංගලන්තයේ ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකා පිලට එක් වු ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ක්‍රීඩකයන් දෙදෙනා වාර්තා කිරීම කැපී පෙනිණි. තරගයේ 57වැනි මිනිත්තුවේදී මර්වින් හැමිල්ටන් ගෝල් කණුවට මීටර් 35ක් පමණ තිබියදී එල්ල කළ ගෝලය අනගි ප්‍රහාරයක් වු අතර, ඩිලෝන් ද සිල්වා තරගය නිමා වීමට ඔන්න මෙන්න තිබියදී දඩුවම් පහර සාර්ථක කර ගැනීම ශ්‍රී ලංකාවට ශක්තියක් විය.

දකුණු ආසියා පාපන්දු ශුරතාවලිය ආරම්භ වීමට දින 6ක් පමණ තිබියදී එක්වු ශ්‍රී ලංකා සම්භවයක් ඇති මේ ද්විත්වපුරවැසි ක්‍රීඩකයන් දෙදෙනා කෙටි කාලයක් තුලදී කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් තේරුම්ගෙන සහයෝගීතාවකින් ක්‍රීඩා කිරීමට සමත්වීම මෙහි ඇති විශේෂත්වය වේ.

මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පෙරේදා පැවැති තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට එරෙහිව කරට කර සටනක නිරත වුවද අවසානයේ ගෝල් 3-2ක සියුම් ජයග්‍රහණයක් නේපාලය අත්කර ගත්තේය.

තරගයේ පළමු භාගයේදී නේපාලය ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර, 33වැනි මිනිත්තුවේදි සුමාන් ලර්නා අගනා ගෝලයක් වාර්තා කරමින් ජය මාවත විවර කළේය. අනතුරුව දෙවැනි භාගය ආරම්භවී 51 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් අන්ජාන් බිස්ටා වාර්තා කළ අතර, තරගය නිමාවීමට ආසන්න වෙද්දී 86 වැනි මිනිත්තුවේදී ආයුෂ් ගලාන් නේපාලයට තෙවැනි ගෝලය එක් කරදීමට සමත් වූවේය.

තරගය නිමාවීමට පෙර අතිරේක මිනිත්තු 4ක කාලයකදී නේපාල ක්‍රීඩකයකුගේ අතේ පන්දු වැදීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක විය.

මේ තරගයේ තාක්ෂණික දත්ත වාර්තා අනුව නේපාලය හා ශ්‍රී ලංකාව ප්‍රහාර 10 බැගින් සමානව එල්ල කර තිබීම විශේෂත්වයකි. නිවැරදි ඉලක්කය වෙතම පන්දුව යොමු කිරීම ශ්‍රී ලංකාවේ 2ක් හා නේපාලයේ 7ක් සටහන්ව තිබිණි. තරගය පුරා ක්‍රීඩකයන් ස්ථාන ගතවීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ සියයට 47ක් වූ අතර නේපාලයේ සියයට 53ක් විය. ශ්‍රී ලංකා පිලෙන් නීති විරෝධීව තරගයේ හැසිරුණු අවස්ථා 12ක් හා නේපාලයෙන් 9ක් වාර්තාවී තිබිණි. ශ්‍රී ලංකාව කෝනර් පහරවල් 3ක් හා නේපාලය කෝනර් පහර 4ක් එල් කළේය.

හෙට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ කිරීමට නියමිතය.