― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2021 වසරේදී මත්තල ගුවන්තොටුපොළෙන් කෝටි 444ක පාඩුවක්

2021 වසරේදී මත්තල ගුවන්තොටුපොළෙන් කෝටි 444ක පාඩුවක්

2021 වසරේදී මත්තල ගුවන්තොටුපොළ රුපියල් බිලියන 4.44ක (කෝටි 444) ශුද්ධ අලාභයක් ලබා ඇති බව විගණකාධිපති වාර්ෂික වාර්තාවේ දැක්වේ.

එමෙන්ම රත්මලාන ගුවන්තොටුපොළ රුපියල් මිලියන 461ක අලාභයක් ලබා ඇති බවත් යාපනය සහ මඩකළපුව ගුවන්තොටුපොළවල් කිසිඳු ආදායමක් ලබා නොමැති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

මේ බව අනාවරණය වී ඇත්තේ එම ගුවන්තොටුපොළවල කාර්යසාධනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන නිරීක්ෂණයකදීය.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා දරන ලද රුපියල් මිලියන 36,564ක් වූ ප්‍රාග්ධන වියදම ඵලදායි ලෙස භාවිත කර නැති බව නිරීක්ෂණය වී ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි.

එම ඉදිකිරීම සඳහා ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය සඳහා ණය පොළිය ලෙස 2010 වසරේ සිට 2015 මාර්තු දක්වා කාලපරිච්ඡේදය තුළ මහ භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 1,708ක මුදලක් සහ ගුවන් සමාගම විසින් 2015 වසරේ අප්‍රේල් මාසයේ සිට 2022 මාර්තු මාසය දක්වා රුපියල් මිලියන 3,532ක මුදලක් ගෙවනු ලැබ ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

2021 වසරේ දෙසැම්බර් 31 දිනට එම ණය මුදලේ ශේෂය අමෙරිකානු ඩොලර් මිලියන 109ක්ව තිබුණු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මත්තල ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් පමණ වුව ද පසුගිය වසර 5ක කාලය තුළම ගුවන්තොටුපොළ භාවිත කර ඇති මුළු මගීන් සංඛ්‍යාව 91,747ක් වන බව ද විගණකාධිපති වාර්ෂික වාර්තාව සඳහන් කරයි.

පසුගිය වසර 5ක කාලය තුළ ගමන් කළ ගුවන් ගමන් සංඛ්‍යාව 2,396ක් පමණක් බව ද එම වාර්තාවේ දැක්වේ. ඒ අනුව 2021 වර්ෂයේදී මත්තල ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතුවලින් රුපියල් මිලියන 4,440ක ශුද්ධ අලාභයක් සහ 2017 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් මිලියන 20,590ක සමුච්චිත ශුද්ධ අලාභයක් ලබා ඇති බවද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර, රත්මලාන කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිය මෙහෙයුම් කටයුතුවලින් අඛණ්ඩව අලාභ ලබා ඇති බව ද 2017 වසරේ සිට 2021 වසර දක්වා රුපියල් මිලියන 1,693.66ක සමුච්චිත අලාභයක් සහ 2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 461.08ක අලාභයක් ලබා ඇති බව ද එම වාර්තාව හෙළි කරයි.

2020 සහ 2021 වර්ෂවලදී එම ගුවන්තොටුපොළේ එක් වසරකට ගුවන් යානා 13 බැගින් පමණක් හසුරුවා ඇති බව ද හැසිර වූ මගීන් සංඛ්‍යාව 2020 වසරේ 60ක් සහ 2021 වසරේ 28ක් පමණක් වන බව ද එම වාර්තාව සඳහන් කරයි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී මගීන් සඳහා විවෘත කර තිබුණ ද පසුගිය වර්ෂ 3ක කාලය තුළ සිය මෙහෙයුම් කටයුතුවලින් අඛණ්ඩව අලාභ ලබා තිබුණු බව ද විගණකාධිපති වාර්තාව පෙන්වා දෙන අතර 2021 වර්ෂයේදී පරිපාලන වියදම ලෙස රුපියල් මිලියන 40.74ක වියදමක් දරා තිබුණ ද කිසිදු ආදායමක් උපයා නොතිබුණු බවද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර, මඩකළපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පසුගිය වසර 5ක කාලය තුළ කිසිදු ආදායමක් උපයා නොමැති බව ද එසේ වුවද පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 74.64ක මුදලක් වැය කර තිබුණු බව ද විගණකාධිපති වාර්ෂික වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.

#mawbima