පෝලිම් නැති, තරුණ පරපුරේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාපධිතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) බත්තරමුල්ල දියත උයනේ එළිමහන් රංග පීඨයේදී පැවැති Open Mic Night තරුණ සංගීත වැඩසටහනට සහභාගී වෙමිනි.
තරුණ තරුණියන් අතර අසුන් ගත් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් ඔවුන් ඇසු ප්‍රශ්නවලට ද සාධනීය පිළිතුරු ලබා දුන්නා.
ඔබ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ජනාධිතිවරයා එහිදි තරුණයෙකුගෙන් ප්‍රශ්න කළ අතර එම තරුණයා ප්‍රකාශ කළේ තමාට සැප සේ සිටිය යුතු බවයි.
රටේ තරුණ තරුණියන්ට සැපෙන් සිටීමට නම් රට ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා රටේ තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ ආර්ථිකයක් ගොඩනැගීමේ වගකීම තමා භාරගන්නා බව එහිදී අවධාරණය කළා.
නැවත පෝලිම්වල සිටිය නොහැකි බවට මෙහිදී තරුණයෙකු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තම පාලනයක් යටතේ මේ රටේ තරුණ තරුණියන්ට නැවත සිටීමට සිදු වන්නේ සිනමා පෝලිම්වල පමණක් බවයි.
නෙට්ෆ්ලික්ස් අවශ්‍ය බවට අවශ්‍ය බවට තරුණයෙකු මෙහිදී සිදු කළ ප්‍රකාශයට ජනාධිපතිවරයා මෙලෙස පිළිතුරු ලබා දෙනු ලැබීය.
“නෙට්ෆ්ලික්ස් අරන් දෙන්නම්. ඒත් ඇයි කාටවත් බැරි ලංකාවේ ෆිල්ම් එකක් නෙට්ෆ්ලික්ස් දාන්න. කාට හරි බැරිද squid game වාගේ එකක් දාන්න? එහෙමත් නැත්නම් House of Cards. නැත්නම් තව එකක් තිබෙනවා designated survivor. අන්තිමට ඉදිරිපත් වුනේ කවුද? විපක්ෂය දිහා බැලුවම මම බලන්නේ Chariots of Fire දාන්න.”
වසර දෙකකට පෙර තමන් රට භාරගත් අවස්ථාවේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එම ණය බර සමඟ තවදුරටත් ඉදිරියට ගියහොත් රටේ ආර්ථිකය කඩා වැටෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන් බවද කියා සිටියා.
ඒ අනුව දේශීය බැංකු හරහා ද ණය ලබා නොගන්නා ලෙසත්, මුදල් මුද්‍රණය නොකරන ලෙසත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දුන් බවත් එම තතත්වය හමුවේ රාජ්‍ය ආදායම් උපයා ගැනීම වෙනුවෙන් වැට් බදු වැඩි කිරීමට තමාට සිදුවූ බවත් ජනාධිපතිවරයා පැවසීය. එම කටයුතු සිදු නොකළා නම් රට අද තිබෙන තත්ත්වයට පත් කිරීමට නොහැකි වන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.
අනපේක්ෂිතව මෙම ස්ථානයට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ තරුණ තරුණියන් තමන්ගේ ගැටළු සෘජුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හැකිවීම පිළිබඳවද ද සතුට පළ කළා.


