ශ්‍රී ලංකාව යළිත් ඉහළ-මැද ආදායම්ලාභී රටවල් කාණ්ඩයට – ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයෙන් තහවුරු වෙයි
ලෝක බැංකුව විසින් 2026 වසර සඳහා නිකුත් කළ ලෝක රටවල නවතම ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මැද ආදායම්ලාභී (Upper-Middle Income) රටක් ලෙස වර්ගීකරණය කර තිබේ.
මෙම යාවත්කාලීන කිරීමේදී විශේෂ අවධානයට ලක්වන්නේ 2022 වසරේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව වසර තුනක් ඇතුළත නැවතත් ඉහළ-මැද ආදායම්ලාභී රටවල් කාණ්ඩයට පිවිසීමට සමත් වීමයි.
2026 වසර සඳහා ලෝක බැංකු සමූහයේ සංවර්ධන දත්ත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් තම ආදායම් මට්ටම ඉහළ කාණ්ඩයකට උසස් කරගෙන තිබේ.
මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ ඇට්ලස් (Atlas) ක්‍රමවේදය භාවිත කරමින් ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) පදනම් කරගෙනය. එහි ප්‍රතිඵල 2027 ජුනි මස අවසානය දක්වා ලෝක මට්ටමින් බලපැවැත්වෙනු ඇත.
නව වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව, වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය සහ මයික්‍රොනීසියාව යන රටවල් පහළ-මැද ආදායම් කාණ්ඩයේ සිට ඉහළ-මැද ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබුණද, එම ප්‍රගතියට හේතු වූ ආර්ථික පසුබිම් එකිනෙකට වෙනස් බව වාර්තාව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේදී මූල්‍ය, සේවා සහ සංචාරක ක්ෂේත්රවල යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2025 වසරේදී සියයට 5ක සැබෑ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් වාර්තා වීම මෙම උසස්වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
වියට්නාමය සිය අපනයන සියයට 15කින් ඉහළ නංවා ගැනීමත්, සියයට 7 සිට 8 දක්වා ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමත් හරහා මෙම කාණ්ඩයට පැමිණ ඇත. එසේම පිලිපීනය ප්‍රධාන කර්මාන්ත රැසක් ඔස්සේ සියයට 5.8ක පුළුල් ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් ඉදිරියට පැමිණ තිබේ.
මයික්‍රොනීසියාව කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්රවල ප්‍රගතිය මත සිය ආර්ථිකය ශක්තිමත් කරගෙන ඇති අතර, ජෝර්දානය ජාතික ගිණුම් ක්‍රමවේද යාවත්කාලීන කිරීමෙන් පසු තම ආර්ථිකය පෙර ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා සියයට 10කින් විශාල බව අනාවරණය වීම හේතුවෙන් ඉහළ-මැද ආදායම් කාණ්ඩයට සුදුසුකම් ලබා තිබේ.
මේ අතර අප්‍රිකානු රාජ්‍යයක් වන ටෝගෝ අඩු ආදායම් කාණ්ඩයේ සිට පහළ-මැද ආදායම් කාණ්ඩයට උසස් වී තිබේ. 2022 ජනගහන සංගණනයෙන් රටේ ජනගහන ඇස්තමේන්තුව සියයට 11.7කින් අඩු බව හෙළිවීම නිසා ඒක පුද්ගල ආදායම ස්වයංක්‍රීයව ඉහළ යාම එයට හේතු වී ඇත.
1987 වසරේදී රටවල් 163ක් ඇතුළත් කර ආරම්භ කළ මෙම ලෝක බැංකු වාර්ෂික ආදායම් වර්ගීකරණය අද වන විට රටවල් 218ක් ආවරණය කරයි. එය සංඛ්‍යාත්මක දත්ත එකතුවක් පමණක් නොව, ජාත්‍යන්තර සහන ණය, සංවර්ධන ආධාර සහ රටවල ආර්ථික ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සහ රජයන් භාවිත කරන ප්‍රධාන දර්ශකයක් ලෙසද සැලකේ.


