මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 700කට ආසන්න පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ස්ථාන මාරු කිරීම් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත්තේ, ඊයේ (05) සිට බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් තත්ත්වය පාලනය කර ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් බව වාර්තා වේ.
ඊයේ දිනයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුවද, අද (06) උදෑසන වන විට නැවතත් එහි නොසන්සුන් තත්ත්වයක් මතුවී තිබුණි.
මෙම ගැටුම රිමාන්ඩ් භාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් විඳින රැඳවියන් පිරිසක් අතර හටගෙන ඇති බව සඳහන් වේ.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ, මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මියගොස් ඇති අතර, මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර ජේලර්වරයෙකු, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකු සහ නියාමකවරුන් කිහිපදෙනෙකුද සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත්, බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV නිරීක්ෂණ පද්ධතිය සහ බොඩි ස්කෑනර් යන්ත්‍රය රැඳවියන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
බන්ධනාගාරයේ සාමාන්‍ය කටයුතු අඩාල කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වී ඇති බවද වාර්තා වන අතර, මේ වන විට තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වේ.


