මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම වැනි තත්ත්වයන් දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලද ඇති වීමේ අවදානමක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල සිල්වා මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය සහ පහසුකම්වල දැඩි හිඟය මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන්ට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.
ඔහුට අනුව, මීගමුව බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 600ත් 650ත් අතර වුවද, මේ වන විට එහි 2,000කට අධික පිරිසක් රඳවා සිටී. එමෙන්ම වැසිකිළි පහසුකම්ද ඉතා සීමිත වන අතර, රැඳවියන් 250ත් 300ත් අතර පිරිසකට එක් වැසිකිළියක් පමණක් පවතින බව ඔහු සඳහන් කළේය. ඇතැම් රැඳවියන්ට වැසිකිළි තුළ නිදා ගැනීමට පවා සිදුව ඇති බවත්, එවැනි අමානුෂික තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත් ඔහු පැවසීය.
තවද, බන්ධනාගාර පද්ධතිය තුළ අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාවෙන් දැනට සේවයේ නිරත වන්නේ හතරෙන් එකකට ආසන්න පිරිසක් පමණක් බවත්, රැඳවියන් නිසි වර්ගීකරණයකින් තොරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ බරපතළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ එකට රඳවා තැබීමද ගැටුම් උත්සන්න වීමට හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමක් ලෙස ඉදිරිපත් කරමින් සැබෑ ගැටලුව යටපත් කිරීමට රජය උත්සාහ කරන බවටද සුදේශ් නන්දිමාල සිල්වා මහතා චෝදනා කළේය. එමෙන්ම, බින්දුනුවැව, වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මීට පෙර සිදු වූ ඝාතන සම්බන්ධයෙන්ද විවිධ අර්ථකථන ඉදිරිපත් කරමින් රජය වගකීමෙන් ඉවත් වූ බවද ඔහු සිහිපත් කළේය.
බන්ධනාගාර තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්වයන්ට කඩිනමින් ප්‍රායෝගික විසඳුම් ලබා නොදුනහොත්, රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ඥාතීන් සමඟ එක්ව වීදි බැස දැඩි විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බවද සුදේශ් නන්දිමාල සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


