දිවයිනේ සියලු බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට හෙට විශේෂ රැස්වීමක්
දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සේවය කරන ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30ට පැවැත්වෙන විශේෂ රැස්වීමකට කැඳවා ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී මීගමුව බන්ධනාගාරයේ මෑතදී ඇති වූ තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින්ය.
ඔහු සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ එම තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවීමට තීරණය කළ බවයි.
එමෙන්ම, දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එම රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


