අනතුරු නිවාරණය පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතියේ තෙවන දිනය අදයි.
එකොළොස්වන ජාතික අනතුරු නිවාරණ සතිය පසුගිය 06 වෙනිදා ආරම්භ වුණා.
මෙම සතිය ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
අද (08) දිනය ‘නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය’ලෙස නම් කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ (NCPI) මඟපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම සතියේ සෑම දිනයක්ම විශේෂ තේමාවන් යටතේ ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව හෙට (09)‘දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය’ සහ අනිද්දා (10) පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමි වීම සහ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයන්ට පත්වීම සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක වනවා.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අය වන අතර, වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මෙම අනතුරු හේතුවෙන් සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද එල්ල වන දැඩි බලපෑම අවම කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වී තිබෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අනතුරු සිදුවීමේ අවදානම පවතින ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා වූ ප්‍රායෝගික වැඩසටහන් මෙන්ම අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.
රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, අනතුරු නිවාරණය ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා උපරිම මහජන සහභාගිත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


