මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් තම ඉල්ලා අස්වීම ඉල්ලා විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වුවද, එම බලපෑම් හමුවේ තමා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ හැකි බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි. ජනාධිපතිවරයා විසින් එවැනි තීරණයක් දැනුම් දුන් අවස්ථාවක පමණක් තමන් එම ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ නිලධාරීන් මේ වන විට ස්වාධීනව පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳවියන් ලබා දෙන ප්‍රකාශ ද විමර්ශන ක්‍රියාවලියේදී වැදගත් සාක්ෂි බවට පත්වනු ඇති බවත්, ඒ හරහා සිද්ධියට අදාළ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවත් හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.


