හැටන් කොටගල නගරයේ තොග වෙළඳසැලක ගබඩා කර තිබූ පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝග්‍රෑම් 1740ක තොගයක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ පරිප්පු තොගය හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, එය භූමිතෙල් යොදා විනාශ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර තිබෙනවා.
පරිප්පු තොගයේ හිමිකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව, ඔහුට රුපියල් 2000ක දඩ මුදලක් ගෙවන ලෙසද දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අනුව තලවකැලේ ලිඳුල නගර සභාවේ කැළිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය මෙම කහ පරිප්පු තොගය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කරනු ලැබුවා.
මෙම පරිප්පු තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් පන්ලක්ෂ විසි දෙදහසක් (රු. 522,000) පමණ වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුගියදා කොටගල නගරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී, ගබඩාවක සඟවා තිබූ මෙම පරිප්පු තොගය සොයාගෙන සිය භාරයට ගෙන තිබූ අතර පසුව එය අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.


