― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදයාසිරි ජයසේකර අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව පසුබිම සකස් කරන බවට සජිත්ගෙන් චෝදනා

දයාසිරි ජයසේකර අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව පසුබිම සකස් කරන බවට සජිත්ගෙන් චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුව විසින් සිය සමාජ මාධ්‍ය ජාල සහ වෙනත් පාර්ශව භාවිත කරමින් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, එය ඉතා ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද සඳහන් කළේය.

2019 වසරේදී දයාසිරි ජයසේකර මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ පහක දීමනාවක් හිමිව ඇති බවත්, ඔහු ප්‍රතිකාර සඳහා රුපියල් 868,000ක පමණ මුදලක් වැය කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම දීමනාව ලබා ගැනීමේදී ඉදිරිපත් කළ බිල්පත්වල දෝෂ ඇති බව පවසමින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවටද ඔහු චෝදනා කළේය.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ, කරුණා සහගත දීමනාවක් යනු විධායක ජනාධිපතිවරයාගේ අභිමතය මත ලබා දෙන ප්‍රදානයක් බවත්, ඒ සඳහා බිල්පත් ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත්ය.

එවැනි තත්ත්වයක් යටතේ බිල්පත්වල ගැටලු පවතින බව සඳහන් කරමින් දයාසිරි ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රට මුහුණ දී සිටින බරපතළ ගැටලු විසඳීමට අවධානය යොමු කරනවා වෙනුවට ආණ්ඩුව මෙවැනි දේශපාලන දඩයම්වල නිරත වීම කණගාටුවට කරුණක් බවද ඔහු පැවසීය.

බන්ධනාගාර පද්ධතිය නිසි ලෙස කළමනාකරණය කිරීම, අර්බුදයට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, දිළිඳුකම සහ මන්දපෝෂණය අවම කිරීම මෙන්ම වේගයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම වැනි වැදගත් කාර්යයන් පසෙකලා ආණ්ඩුව දේශපාලන පළිගැනීම්වල යෙදී සිටින බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

දයාසිරි ජයසේකර මහතාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.