කටාර්හි හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අභාවප්‍රාප්ත වන විට ඔහු 74 වන වියේ පසුවූ බව සඳහන් වේ.
2012 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඔහු, කටාර් රාජ්‍ය නායකයෙකු ලෙස මෙරටට පැමිණි පළමු රාජ්‍ය නායකයා ලෙස ද ඉතිහාසගත වී තිබේ.
“Father Emir” ලෙස ප්‍රසිද්ධියට පත් වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි, 1995 වසරේදී කටාර් රාජ්‍යයේ නායකත්වයට පත් විය. මිත්‍රශීලී සහ ආකර්ෂණීය පෞරුෂයකින් යුත් ඔහු, නවීන කටාර් රාජ්‍යයේ නිර්මාණකරු ලෙස ද සැලකේ.
ඔහුගේ නායකත්වය යටතේ කටාර්හි සංවර්ධනය, ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන ක්ෂේත්‍ර තුළ සැලකිය යුතු පරිවර්තන රැසක් සිදු කෙරිණි.
එම කාලය තුළ කටාර් රාජ්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය 24 ගුණයකට වැඩි වර්ධනයක් වාර්තා කළ අතර, 2006 වන විට ලොව විශාලතම ස්වාභාවික වායු අපනයනකරුවා බවට කටාර් පත් කිරීමට ද ඔහුගේ නායකත්වය යටතේ හැකි විය.
එසේම, ඉන් වසර හතරකට පසුව කටාර්හි වාර්ෂික ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන ධාරිතාව ටොන් මිලියන 77 දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.


