― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් කැණීම් කළ, නිෂ්පාදනය කළ හෝ සකස් කළ කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් තහනම් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව සියයට 12.5ක නව ආනයන බද්දක් පැනවීමට තීරණය කිරීමෙන් අනතුරුව රජය මෙම පියවර ගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සිකුරාදා අත්සන් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම නව නියාමන ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, මෙරටට ආනයනය කිරීමට නියමිත භාණ්ඩ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් හෝ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කර නොමැති බව තහවුරු කරන ලියකියවිලි ආනයනකරුවන් විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර ඇත.

බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවර නොගත් බවට ඇමෙරිකාව කළ චෝදනා හේතුවෙන්, නව ආනයන බදු පනවා ඇති රටවල් 60 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.

ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් ජූනි 02 වැනිදා නිකුත් කළ සවිස්තර වාර්තාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමය සම්බන්ධ තහනම් නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක නොකිරීම අසාධාරණ තත්ත්වයක් බවත්, එය ඇමෙරිකානු වෙළඳ කටයුතු සඳහා බාධාවක් හෝ සීමාවක් ලෙස සැලකිය හැකි බවත්ය.

විශේෂයෙන්ම කපු සහ කපු මිශ්‍ර රෙදිපිළි මෙන්ම ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙම අවධානය වැඩි වශයෙන් යොමු කර තිබේ.

ඇමෙරිකාවේ ‘උයිගර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත’ (UFLPA) යටතේ උතුරු කොරියානු ශ්‍රමය හෝ චීනයේ ෂින්ජියැන්ග් උයිගර් ස්වයං පාලන කලාපයේ බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ ඇමෙරිකානු වෙළඳපොළට ඇතුළත් කිරීම තහනම් කර ඇත.

චීනය සමඟ සම්බන්ධතා පවත්වන අතරමැදි නිෂ්පාදකයින් පිළිබඳ සිදුකළ විමර්ශනයකදී ශ්‍රී ලංකාව ඇතුළු ආර්ථිකයන් 10ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.