නවසීලන්තය හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දැඩි පරාජයෙන් පසුව, බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු වෙනුවට හිටපු එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් නැවත එම තනතුරට පත් කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වේ.
ඉන්දියාවට එරෙහිව සවුත්හැම්ප්ටන්හි පැවැත්වීමට නියමිතව තිබූ 5 වැනි විස්සයි20 තරගයට පෙර, බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දී ඇත.
එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගෝල්ඩ් සඳහන් කර ඇත්තේ, නව ටෙස්ට් පුහුණුකරු තනතුර සඳහා සුදුසුකම් ඇති පුද්ගලයන් දස දෙනෙකු පමණ ඇතුළත් ලැයිස්තුවක් මේ වන විට සකස් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විට IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ඩි ෆ්ලවර් එම ලැයිස්තුවේ ඉහළම තේරීමක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
නව එකඟතාවක් යටතේ, ෆ්ලවර්ට IPL තරගාවලියේ සිය වගකීම් ඉදිරියටත් පවත්වාගෙන යමින්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
එසේ වුවහොත් RCB කණ්ඩායමේ ඔහුගේ භූමිකාව රඳවා ගනිමින්ම නැවතත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පැමිණීමට ඇන්ඩි ෆ්ලවර්ට හැකි වනු ඇත.
ඇන්ඩි ෆ්ලවර් මීට පෙර 2009 සිට 2014 දක්වා කාලය තුළ එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ ඔහු සාර්ථක පුහුණුකරුවෙකු ලෙස සැලකුණි.
ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ එංගලන්තය ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවලදී පැවැති ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමටද සමත් විය.
පසුව විවිධ ජාත්‍යන්තර විස්සයි20 ලීග් තරගාවලිවල පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් සිය හැකියාවන් තහවුරු කරගත් ඇන්ඩි ෆ්ලවර්, RCB කණ්ඩායම සමගද සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම මේ මස අවසානයේ ආරම්භ වීමට නියමිත The Hundred තරගාවලියේ London Spirit කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ඇන්ඩි ෆ්ලවර් කටයුතු කිරීමට නියමිතව ඇත.


