― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුණාත්මක පොදු ප්‍රවාහනයක් රටටම ලබාදෙනවා

ගුණාත්මක පොදු ප්‍රවාහනයක් රටටම ලබාදෙනවා

සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ගුණාත්මක පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනඟන බව ජනපති කියයි

සෑම ජනතාවකටම ප්‍රතිලාභ සැලසෙන, ගුණාත්මක හා පහසුකම්වලින් සමන්විත පොදු ප්‍රවාහන පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එවැනි ප්‍රවාහන පද්ධතියක් සංවර්ධනය කිරීම තුළින් ජනතාවට පෞද්ගලිකව ප්‍රවාහනය සඳහා දැරීමට සිදුවන වියදම් අවම කරමින්, රට පුරා ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සහතික කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. නිදහස් සෞඛ්‍ය සේවාව දියුණු කිරීම සඳහා යොමු කරන අවධානය මෙන්ම පොදු ප්‍රවාහන සේවාව නංවාලීම කෙරෙහිද ප්‍රමුඛතාව ලබාදීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අදාළ 2026 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (13) පෙරවරුවේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.

පොදු ප්‍රවාහන සේවාව නව සැලැස්මක් අනුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය ද වෙන් වෙන්ව විමසා බැලීය.

එමෙන්ම, දැනට භාවිතයේ පවතින පැරණි බස් රථ සංචිත ක්‍රමානුකූලව ඉවත් කර නව බස් රථ සේවයට එක් කිරීමේ වැඩසටහන පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි. නගරාශ්‍රිත කෙටි දුර ගමනාගමනය සඳහා මෙට්‍රෝ බස් රථ වැනි නවීන පහසුකම් සහිත බස් රථ යෙදවීම මගින් මගීන්ට වඩාත් සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති, නාගරික කසළ කළමනාකරණ වැඩසටහන් සහ City Branding ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්වල 2026 වසරේ ප්‍රගතිය, මෙම වසර තුළ ජනතා අයිතියට පත් කළ හැකි ව්‍යාපෘති මෙන්ම ඉදිරි වසර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ලබන වසරේදී නිම කළ හැකි ව්‍යාපෘති හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව ලබාදෙමින් අයවැය ප්‍රතිපාදන වෙන් කළ යුතු බව ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එසේම, විදේශ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසාන ප්‍රතිඵල පිළිබඳ නිසි ඇගයීමකින් තොරව ඒවා අනුමත නොකළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.