සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්ව තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද විරෝධතා ව්‍යාපාරයක්ද පැවැත්වීමට කටයුතු කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා පැවසුවේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කරමින්, දැනට සේවයේ නිරත නිලධාරීන්ට අගතියක් සිදුවන අයුරින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමට තමන් විරුද්ධ නොවන නමුත්, එම බඳවා ගැනීම සිදු කරන ක්‍රමවේදයේ පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවයි.
“වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඉතාම අත්තනෝමතික ලෙස, දැනට සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන ආකාරයට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට උත්සාහ කරනවා. අපි බඳවා ගැනීමට විරුද්ධ නැහැ. නමුත් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු පිළිබඳව අප සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න කියලා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා,” යනුවෙන් ඉන්දික පීරිස් මහතා පැවසීය.


