― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය සේවාවේ තවත් 228කට පත්වීම් ලබාදීම හෙට

සෞඛ්‍ය සේවාවේ තවත් 228කට පත්වීම් ලබාදීම හෙට

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමේ වැඩපිළිවෙල යටතේ නව පත්වීම් රැසක්

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝහල් පරිපාලනය මෙන්ම රෝගී සත්කාර සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත මානව සම්පත් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩපිළිවෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

එම වැඩසටහන යටතේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ජූලි 16 වැනිදා පෙරවරු 10.30ට ශ්‍රී ලංකා පදනම ආයතනයේදී පැවැත්වීමට නියමිත අතර, එම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්වීමට නියමිතය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගු කලක් පැවති පුරප්පාඩු පිරවීමේ වැඩසටහනට සමගාමීව, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුරු සඳහා බඳවා ගැනීම් ද ආරම්භ කර තිබේ. එහි පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායකයන් 627 දෙනෙකුට පසුගිය 04 වැනිදා පත්වීම් ප්‍රදානය කර ඇත.

මීට අමතරව, ඉදිරි අදියරවලදී තවත් සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ජූලි 18 වැනිදා 600 දෙනෙකුටත්, අගෝස්තු 01 වැනිදා තවත් 762 දෙනෙකුටත් පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.

එසේම ඉදිරි දෙසතිය තුළ ඩෙංගු මර්දන සහායකයන් 295 දෙනෙකුට සහ සුළු සේවා පාලක (Overseers) 121 දෙනෙකුට ද පත්වීම් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සෘජු මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම මානව සම්පත් සංවර්ධන වැඩසටහන මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුම් ලබාදීම අරමුණු කර ඇති අතර, වෘත්තීය සමිති සහ අනෙකුත් පාර්ශවකරුවන් දිගු කාලයක් තිස්සේ ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් පත්වීම් ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිදභාවයකින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.