එංගලන්තය සමඟ ඊයේ (15) පැවැති උණුසුම් අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෝල 2-1 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ආර්ජන්ටිනාව, යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ඇට්ලන්ටාහි ප්රේක්ෂකයින් 68,239 දෙනෙකු ඉදිරියේ පැවැති මෙම තරගයේදී දෙවැනි අර්ධයේ 55 වැනි මිනිත්තුවේ ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයත් සමඟ එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය. එම ගෝලයත් සමඟ 1966 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව එංගලන්තයට ශක්තිමත් විය.
කෙසේ වෙතත්, තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ආර්ජන්ටිනාව ප්රබල ලෙස ප්රතිප්රහාර එල්ල කළේය. 85 වැනි මිනිත්තුවේදී ලියොනෙල් මෙසී ලබාදුන් දක්ෂ පන්දු යොමු කිරීමකින් එන්සෝ ෆර්නැන්ඩස් සම ලකුණු ගෝලය වාර්තා කරමින් තරගය 1-1 ක් ලෙස සම කළේය.
ඉන් අනතුරුව තරගයේ අතිරේක කාලයේ දෙවැනි මිනිත්තුවේදී නැවතත් මෙසීගේ නිවැරදි පන්දු යොමු කිරීමක් ප්රයෝජනයට ගත් ආදේශක ක්රීඩක ලුටාරෝ මාර්ටිනස් හිසෙන් එල්ල කළ ප්රහාරයකින් ජයග්රාහී ගෝලය වාර්තා කළ අතර, ඒ සමඟ ආර්ජන්ටිනාව 2-1 ක පෙරළිකාර ජයක් හිමිකර ගත්තේය.
මෙසීගේ සුවිශේෂී දස්කම් සහ මාර්ටිනස්ගේ අවසන් මොහොතේ ගෝලය හේතුවෙන් ලැබූ මෙම ජයග්රහණය, එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර දීර්ඝකාලීන පාපන්දු තරගකාරිත්වයේ තවත් අමතක නොවන පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයට එක්විය.
1986 වසරේ ඩියේගෝ මැරඩෝනා එංගලන්තයට එරෙහිව දැක්වූ සුපිරි දස්කම්වලට සමාන නොවූවත්, මෙම ජයග්රහණයත් සමඟ පරාජයේ අද්දර සිට නැවත තරගය තමන්ගේ පාලනයට ගත් ආර්ජන්ටිනාව, පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලානය දිනා ගැනීමේ බලාපොරොත්තුව තවදුරටත් ජීවමාන කරගෙන තිබේ.
1962 වසරේ බ්රසීලයෙන් පසු කිසිදු කණ්ඩායමක් පිට පිට ලෝක කුසලාන ශූරතාව ආරක්ෂා කර නොමැති අතර, මෙම ජයග්රහණයත් සමඟ බ්රසීලයේ කැෆූට පසුව ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්රීඩා කරන දෙවැනි ක්රීඩකයා වීමේ අවස්ථාවද ලියොනෙල් මෙසීට හිමිව තිබේ.
කණ්ඩායම් 48 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා නිව් ජර්සිහි MetLife ක්රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වීමට නියමිතය.
39 වැනි වියේ පසුවන ලියොනෙල් මෙසී, එංගලන්තයට එරෙහිව ක්රීඩා කිරීමට දිගු කාලයක් බලා සිටි අතර, නිල තරගයකදී ස්පාඤ්ඤයට එරෙහිව ක්රීඩා කිරීමට ද ඔහුට හිමිවන පළමු අවස්ථාව මෙය වේ.
2022 කටාර් ලෝක කුසලානය ජයග්රහණය කරමින් සිය පාපන්දු දිවිය සම්පූර්ණ කළ බව බොහෝ දෙනා සිතුවද, තවමත් ඉහළම මට්ටමේ දස්කම් පෙන්වීමට තමන්ට හැකි බව මෙසී මෙම තරගයෙන් යළිත් තහවුරු කළේය.
අනෙක් පසින් තෝමස් ටුචෙල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමට අවසන් මහා තරගයේ සිහිනය අහිමි වූ අතර, ඔවුන් සෙනසුරාදා මියාමිහිදී ප්රංශය සමඟ තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගයට එක්වීමට නියමිතය.


