සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාර් රථයක් ගිනි ගන්නා දර්ශනයක් සහ ඒ අසලින් කුඩා ළමයෙක් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම වීඩියෝව තුළින් දරුවා විසින් කාර් රථයට ගිනි තැබීමක් සිදු කර ඇති බවට හැඟවෙන ආකාරයේ හඬ පටයක් ද ඇතුළත්ව ඇති බව පොලිසිය පෙන්වා දෙන්නේ.
මෙම කාර් රථය ගිනි ගැනීමේ සිද්ධිය කුරුණෑගල පොලිස් වසමේ පිහිටි විදුහල් භූමියක සිදුවීමක් බවට අනාවරණය වී ඇති බවත්, කුරුණෑගල පොලිස් ස්ථානය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති වාර්තාව අනුව, පසුගිය 03 වන දින කුරුණෑගල නගරයේ විදුහල් භූමියක රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා කාර් රථයක් ගිනිගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 08ක් පමණ වන කුඩා දරුවෙක් වගකිව යුතු බව සඳහන් කරමින් පැමිණිල්ලක් කුරුණෑගල පොලිස් ස්ථානයට ලැබී ඇති බවත් පොලිසිය පවසනවා.
කුරුණෑගල පොලිසිය විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිදු කරන ලද විමර්ශනයේදී මෙම කාර් රථය අසලින් එම අවස්ථාවේ ගමන් ගන්නා දරුවා වයස අවුරුදු 08ක් පමණ වන එම විදුහලේ අධ්‍යාපනය ලබන සිසුවෙක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
එසේ වුවද, මෙම වීඩියෝවේ දර්ශනය වන දරුවා කාර් රථයට ගිනි තැබූ බවට ඇසින් දුටු සාක්ෂි කිසිවක් හෝ පරීක්ෂණ සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යනු ලබන අතර, රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් ද ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමේ කටයුතු කර තිබෙනවා.


